විශේෂාංගසිව්කොණ

Share now!

නීතිය හා සදාචාරය යනු එකවර ගළපා ගැනීමත් පටළවා ගැනීමත් ඉතාමත් හානිකර ප්‍රතිථල අත්කර දෙන්නකි. සැමවිටම නීතිය හා සදාචාරය යන්නෙන් මුල් තැන දිය යුත්තේ ඉන් කවරකට දැයි තීරණය කිරීමේදී එය ඉතාමත් ප්‍රඥාවන්ත හා අවස්ථානුකූල අයුරින් කළයුතුය එසේ නොවන කල අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් හට උසාවිය දෙපස රැස්වී ජනයාට හූ තබන්නට සිතීමත්, අපරාධකරුන්වන් තමන් සිටිය නොයුතු වගකීම් සදහා ජනතාව අතරින්ම තේරී පත් වීමත් වැනි නොවිය යුතු දෑ සිදු වීම වළකා ලිය නොහැකිය.

මීට මාස හතරකට පමණ පෙර මා වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයට යාබද නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ (සිඩ්නි නුවර අයත් ප්‍රාන්තය) කලාව සම්බන්ධ ප්‍රාන්ත ඇමති ඩොන් හර්වින් හට සිය ඇමති ධූරයෙන් හදිසියේ ඉල්ලා අස්වීමට සිදුවිය. එයට හේතුව වූයේ කෝවිඩ් වසංගතය ව්‍යාප්තිය මැඩීම සදහා එකී ප්‍රාන්ත රජය හා ෆෙඩරල් ආණ්ඩුව විසින් පැනවූ මහජන සෞඛ්‍යය රෙගුලාසි කඩ කිරීම හේතුවෙනි. එනම් ඔහු සිය නිවසින් බැහැරව ඔහුගේම තවත් නිවසකට ගොස් පාස්කු සතිඅන්තය එහි ගත කිරීමයි. (මහජන සෞඛ්‍යය නීති අනුව එකල සිය නිවසින් බැහැරවීම නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත වැසියනට තහනම්ව පැවතුනි. ඔහු හට එම තීරණයහට එළඹීමට වැඩි කලක් ගතවූයේ නැත. එහිදී සිවිල් සමාජයෙන් මතුවූ ප්‍රධාන තර්කය වූයේ සරළ නීතියක් රකින්නට නොහැකි පුද්ගලයෙක් ප්‍රාන්ත නීතිය සම්පාදනය කරන ස්ථානයක රැදෙන්නේ කෙසේද යන්නය.

හර්වින් ඇමතිවරයාගේ ඉල්ලාඅස්වීම නිව්සවුත්වේල්ස් හි ප්‍රාන්ත අගමැතිනියහට දේශපාලනමය වශයෙන් අතිශය අභ්ග්ග වූ තත්වයක් උද්ගත කරවුවද ඇයටද ඔහුගේ ඉල්ලා අස්වීම අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදුවිය. මෙම සිදුවීම අතරතුර ප්‍රාන්ත ආණ්ඩුපක්ෂයේ සෙසු ඇමතිවරුන් ඇමති හර්වින්ගේ එකී ක්‍රියාව සාධාරණීකරණය කරමින් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට උත්සහ කළේද, ඇමති හර්වින් “හරි හරි මම ඩොලර් දහසේ දඩය ගෙවන්නම් කො වැඩේ අහවර්යිනෙ කියමින් පාරම් බාන්නට ගියේද නැත. ඔහු දඩයද ගෙවා සිය තනතුර උනා දමා ගෙදර ද ගියේය. ඒ ඔස්ට්‍රේලියාවේය, නීතිය ද සදාචාරයද පැවතිය යුතු තැන්හි වැජඹේ.

පසුගියදා පැවති මහ මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් සිය රැළිය මෙහයවූයේ හිසාවරණයක් නොපැළද සිය අධිවේගී මෝටර් සයිකලය පදවමිනි. එක මාධ්‍ය මගින් කරළියට පැමිණියද ඔහු එය ගණනකටවත් ගත්තේ නැත ඉනික්බිති ඔහු පැවසූයේ “උඹලට ඕනෙ නම් මම දඩය ගෙවන්නම්” වගේ යමකි. එහිදී එවන්නෙක් හට අපේක්ෂත්වය ලබාදු බලවතුන්හටද ලක්ෂගණනින් ඡන්දය දී ඔහුව පාර්ලිමේන්තුව දක්වා ගෙනගිය ජනතාවටද කිසිදු අපුලක් හෝ කිවුලක් තිබුණේ නැත. මේ මොහොත වනවිට ලාංකීය දේශපාලනය කළඹන්නට සමත් සිදුවීම වූයේ අධිකරණයෙන් මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවකු ලෙස වරදකරු කොට මරණීය දණ්ඩණය නියමව බන්ධනාගාර ගතකොට සිටින මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කතානායක ඉදිරියේ දිවුරුම් දීමයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාප්‍රකාරව එවන් වරදකරුවකු හට ඔහු  ජයගත් මන්ත්‍රී අසුනේ දිවුරුම් දීමට බාධාවක් නැතුවා විය හැකිය. නමුත් මෙකී මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණය ඉදිරියේ වරදකරුවකු වී මරණීයදණ්ඩනය නියම වන්නේ ඔහු අපේක්ෂකයකු වශයෙන් සිය ඡන්ද සටන මෙහෙයවන අවස්ථාවකදීය. ඕනෑම නඩුවක් උසාවියකදී විභාග කරනුයේ නිසි නෛතික ක්‍රමවේදයකට අනුවය. සාක්ෂ්‍ය විමසමින්, විත්තියේ තර්ක, ප්‍රතිතර්ක වැනි නඩු ගොනුවට අදාල සියලු කාරණා නිසි ලෙස සැලකිල්ලට භාජනය කරමිනි. මෙකී මන්ත්‍රී වරයා මනුෂ්‍යය ඝාතනයක් වෙනුවෙන් වරදකරුවකු කරන්නේ එවන් උසාවියකිනි.

නමුත් එවන් තත්වකදී වුවද ඔහුගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඔහුට හෝ ඔහු හට අපේක්ෂකතවය ලබා දුන් දේශපාලන බලවතුන්හටද කිසිදු ගැටලුවක් නොතිබුණි. ඔවුන් සැම එකී අපේක්ෂකයා සම්බන්ධයෙන් වූයේ මරණීය දණ්ඩනය නියමවූවකු වුවද ඔහුහට පාර්ලිමේන්තුව සදහා තරග කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැතිබව පවසමින් එය ජුගුප්සහ සහගත ලෙස සාධාරණයකරණය කරමිනි.

මෙවන් පසුබිම්කදී එකී අපේකෂකයාහට පාර්ලිමේන්තුවට තරග කිරීමට හෝ පාරිලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට ඇති නෛතික ප්‍රතිපාදන එසේ තිබියදී මෙවන් කාරණයක් සම්බන්ධයෙන් පවතින සදාචාරමය වැදගත්කම සැලකිල්ලට ගත යුතුය. මා පාසල් සමයේ සාමාන්‍ය පෙළ අවසන් කළ අපේ මිතුරන් දෙදෙනෙක් විභාගය නිම කළ ප්‍රීතිය සැමරීම සදහා පාසල තුලදී රතිඤ්ඤා පත්තු කළ අතර පසුදා විදුහල්පතිවරයා විසින් ඔවුන් දෙදෙනා පාසලෙන් පහ කර හරින ලදී. එසේම තවත් මිතුරෙක් සිය කේන්තිය පාලනකය කරගත නොහැකිව පාසලේ ක්‍රීඩාව භාර ගුරුවරයාට පහරදුන් අතර ඔහුවද පාසලෙන් සදාකාලිකව පහ කර හරිනලදී. ඉහත කී අවස්ථාවන් දෙකෙහිදීම පාසල් පරිපාලනය ඉදිරිපත ඉදිරිපත් කළ තර්කය වූයේ එකී ශිෂ්‍යයින් විසින් සිදුකරන ලද විනය විරෝධී හා ලබාදෙන ලද වැරදි ආදර්ශය හේතුකොටගෙන එකී තීරණය ගත් බවයි.  එසේනම් ඉහත කී මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ සිට මනුෂ්‍ය ඝාතනයක් සදහා වරදකරුවකු ලෙස පැමිණ රාජ්‍යයේ නීති සම්පාදනය කරන ප්‍රධානතම ආයතනයේ නීති සම්පාදකයකු වශයෙන් ජනතාව ඉදිරියේ දිවුරුම්දීම කෙතරම් සදාචාර සම්පන්නදැයි ජාතියක් වශයෙන් ගැඹුරින් සිතා බැලියයුතුය.

කෙසේ වෙතත් අප කණගාටුවෙන් වුවද සිහියේ තබාගත යුත්තේ ලංකාව වැනි රාජ්‍යයක් තුල මෙවන් සිදුවීමක් මගින් නොව ඊට එහා තත්වයකින් වුවද දේශපාලන සදාචාරය කිසිවිටෙකත් ඉස්මතු නොවන බවයි. මක් නිසාද යත් දේශපාලනය යනු ඔවුනට පරම්පරා ගණනාවක් සදහා විනෝදවීමට ලැබෙන සැණකෙළියක් සදහා ජනතා මුදලින් ලබාදෙනු ලබන වී.අයි.පී. ප්‍රවේශ පතක් මිස අන් කවරක් නොවන බවයි. එබැවින් මෙවන් ජුගුප්සහ සහගත සිදුවීම් එකක් නොව තවත් දහසක් සිදුවුවද ඔවුන්ගේ දේශපාලන සැණකෙළිය ඒ කවරකින් හෝ “චොකා” වී නොයනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment