විශේෂාංග

Share now!

කොරෝනා වෛරසය හේතුවෙන් ගෙවීගිය මාස කිහිපය ඇතුලත අප ජීවත්වන මේ මුළු මහත් ලෝකයම “උඩුයටිකුරු” විය. පසුගිය පෙබරවාරියට පෙර අප හුරුවී තිබු හැසිරීම් රටාවන් , ජීවන රටාවන් බොහෝමයක් අද වන විට “කණපිට” පෙරලී ඇත.

එම “පෙබරවාරියට” පෙර තිබු සාමාන්‍ය තත්වයට යලි ලෝකය කිසි දිනක පත්නොවනු ඇති බවට විශේෂඥයින් මේ වනවිට මත පළකර අවසන්ය . එනම් අප සැමට ඉදිරියේදී ” නව සාමාන්‍යයක් ” ( New Normal ) සඳහා පුරුදු පුහුණු වීමට, හුරු වීමට සිදුවනු ඇත .

පෙබරවාරියෙන් පසු අපගේ ජීවන රටාවට එක්වූ අලුත් හුරු පුරුදු , හා චර්යා රටා බොහොමයක් , ඉදිරියේදී සදහටම අප සමග රැදී පවතිනු ඇත.

උදාහරණ ලෙස, කාර්යාල කටයුතු බොහොමයක් නිවසේ සිටම ඉටු කිරීමට අපට සිදුවනු ඇත . එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේදී අන්තර්ජාල සේවා හෝ ජංගම සේවා වැඩි වශයෙන් භාවිතා කිරීමට සිදුවනු ඇත , නිවසින් බැහැරට යන විට මුඛ ආවරණයක් පැළඳීම සාමාන්‍ය කරුණක් වනු ඇත , අතට අතදී අචාර කිරීමේ සිරිත අප අතරින් කෙමෙන් ගිලිහී යනු ඇත , එසේම එදිනදා රාජකාරීමය හමුවීම් පමණක් නොව නෑදෑ හිතමිතුරන් හමුවීමද වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට අපට සිදුවනු ඇත.

අප මෙම ප්‍රායෝගික යතාර්ථය වහා නිවැරදිව අවබෝධ කර ගතයුතුය. එසේ නොකොට අතීතය ගැන මෙනෙහි කරමින්, සිටීම තවත් ගැටළු රාශියක ආරම්භයක් පමණක් වනු ඇති බවට මානසික වෛද්‍ය විශේෂඥයින් පවා අනතුරු අඟවා ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතා , රැකියා අහිමිවීම් ඇතුළු බරපතල ගැටළු රාශියක් හේතුවෙන් අප දැනටමත් මානසික පීඩාවන් රැසකට මුහුණ දෙමින් සිටින්නෙමු , එසේම කෝරෝනාව බරපතල ලෙස පැතිරගිය රටවල බොහෝ දෙනෙකු , තම සමීපතමයින් අහිමිවීම හේතුවෙන්ද දැඩි මානසික පීඩනයකට මුහුණදෙමින් සිටී.

තත්වය මෙසේ තිබියදී කොරෝනාවට පෙරතිබු නිදහස් ජීවන රටාව ගැන සිහි කරමින් ඒ ගැනද ලතවීමට , පසුතැවීමට ගතහොත් , එය අපගේ මනසට බරපතල පීඩාවක් වනු ඇත .

ඒ අනුව පසුගිය පෙබරවාරියට පෙර යුගය පිලිබඳ මතකයන් කෙමෙන් සිතින් ඉවත්කිරීම වඩාත් යෝග්‍ය වනු ඇති බව විශේෂඥ මතය හා අවවාදය වී ඇත. එනම් යලි නැවත වරක් පෙර පැවති නිදහස් , සාමාන්‍ය දිවිපෙවත භුක්ති විඳීමට ලැබෙනු ඇතැයි යන්න පිළිබඳව අසීමිත ලෙස බලාපොරොත්තු තැබීම හා ඒ ගැන සිහින මැවීම තුලින් විවිධ මානසික අවපීඩන තත්වයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවටද විශේෂඥයින් අනතුරු අඟවා සිටී.

වඩාත්ම සුදුසු වන්නේ ඉදිරියට උදාවිය හැකි ඕනෑම අලුත් තත්වයකට මුහුණ දිය හැකි ලෙස සිත ශක්තිමත් කරගැනීමයි . යතාර්තවාදී ලෙසත් නම්‍යශීලී ලෙසත් සිතා බලා , නව තත්වයන්ට ගැලපෙන ලෙස සිත සකස්කරගනීමයි .

මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකාවේ මැසසුශේට්ස් හි බැබ්සන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් ඩේවන්පොර්ට් මහතා පසුගියදා එරට මාධ්‍ය වෙත මෙසේ සඳහන් කර තිබිණ .

“යලි ලෝකය කඩිනමින්ම පෙර පැවති සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා . ඔවුන් එහිදී කරන්නේ තමන්වම රවටා ගැනීම , එහෙම නැත්නම් තම අනුගාමිකයින්ව රැවටීමක් . සමහරවිට එතනදී ඒ දෙකම වන්නත් පුළුවන්, කොහොමත් ලෝකය සාමාන්‍ය පත්වීම යනු යතාර්ථයක් නොවේ.”

මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය සුවිශේෂීය . එය බොහෝ විට සැකසී ඇත්තේ ඕනෑම තත්වයක් යටතේ ආරක්ෂා වී සිටීම පිණිසය . එහි එක කොටසක් මෙම නව වෙනස් වීම් වලට ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සියලු විනාශකාරී තත්වයන් තාවකාලික බවට සලකමින් , කටයුතු කරන නමුත් , මොලයේ තවත් ප්‍රබල කොටසක් මෙම නව තත්වයන්ට අප හුරු කිරීමට ක්‍රියාත්මක වනු ඇත .

අනුවර්තනය යනු අප මෙලෙස සියලු තත්වයන් තුල ආරක්ෂා වී නොනැසී සිටීමට ප්‍රධානතම හේතුව ලෙස අර්ථ දැක්විය හැක . ඕනෑම තර්ජනයක් නිවැරදිව හදුනගෙන ඊට අනුරූපව ක්‍රියාත්මක වීම හා ඊට මුහුණදීමට හුරුවීම, අපගේ මනස , එසේත් නැතිනම් මොලය සතු ශක්‍යතාවයකි .

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන සොන්ජා ලියුම්බෝමර්ස්කි මේ විද්‍යාත්මක කරුණු මෙලෙස වඩාත් සරලව පැහැදිලි කර දී ඇත .

” අපගේ මොලය සතු මෙම අනුවර්තනමය හැකියාව අපට අතීතයේ සිටම පිහිට වී තිබෙනවා . එනම්මිනිසා වනාන්තර ගතව සිටි යුගයේ සිටම , එසේත් නැතිනම් දඩයම් යුගයේ සිටම,

අප වරක් යාමට බිය වූ මාවතක දෙවන වර එම මාවතේ ඇති තර්ජනයන්ට හුරුවෙමින් , අනුවර්තනය වෙමින් අප නැවත වරක් ගමන් කරනවා…

අපට අලුතින් හොඳක් හෝ නරකක් සිදුවන සෑම මොහතකම මුලින්ම එහි බලපෑම අපට වඩාත් තීව්‍ර ලෙස දැනෙනවා . පසුව අප ඊට හුරුවෙනවා . මුල් වර මෙන් දෙවන වර අප කලබලයට පත්වන්නේ නැහැ . එලෙස අපට මුහුණ දීමට සිදුවන ධනාත්මක මෙන්ම ඍනාත්මක වෙනස්වීම් වලටද අප අනුවර්තනය වනවා .

අප මුඛාවරණ පැලඳීමට හුරුවෙමින් සිටිනවා , එහි අවශ්‍යතාවය අවම වූ විට එය නොපැළඳ සිටීමටද අප ඉක්මනින් හුරුවෙනවා . අන්වර්තනය එලෙස විව්ධාකාරයෙන් ක්‍රියාත්මක වනවා.

මේ වනවිට අත් සේදීම අපගේ ජීවන චර්යාවේම කොටසක් බවට පත්ව ඇත. එය දැන් අප අතින් ඉබේම වාගේ සිදුවන්නකි , ඒ ගැන වෙනම අවධානය යොමු කර සිදුකිරීමට දැන් අවශ්‍ය නැත , අප කොයි කවුරුත් දැන් වෙනදාට වඩා අත සෝදයි . එවැනි පුරුදු කොරෝනා වසංගතය පහව ගිය කාලයක වුවද , අප සමග රැදී පවතිනු ඇත.

නමුත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට අප තුලට මේ වනවිට පැමිණ ඇති හුරු පුරුදු රැසක් යලි අප වෙතින් ගිලිහී යාමටද ඉඩ ඇති බවද සොන්ජා මහත්මිය පෙන්වාදෙ .

” පසුගිය දවසක මම අපගේ විද්‍යාර්තීන් සමග එළිමහන් වැඩමුළුවකට සහභාගිවුණා . ආරම්භයේදී සියලු සෞඛ්‍යාරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපදිමින් සියලු දෙනා කටයුතු කළා, නමුත් කෙටි වෙලාවක් ගතවන විට සියලුම දෙනාටම සියලු සෞඛ්‍ය පුරුදු අමතක වුනා . කොරෝනා වසංගතය ගැන අප සියලුදෙනාටම මොහොතකට අමතකවුනා . එවැනි දෙයක් නැතිවාක් මෙන් අප සියලු දෙනා හැසිරුනා .යයි සොන්ජා මහත්මිය සඳහන් කළාය ,

“වෙනස්වීම් සිදුවීම හා ඒවාට අනුවර්තනය වීම තමයි ජීවිතය කියන්නේ ” මහාචාර්යවරිය මාධ්‍ය වෙත සඳහන් කර සිටි. ශ්‍රී ලංකාවේ අප හටනම් මේ වනවිට කොරෝනා ව්‍යාප්තියේ භයානකත්වය එතරම්ම දුරකට නොදැනෙන නමුත් ලෝකයේ බොහෝ රටවල්වල තත්වය හාත්පසින් වෙනස්ය .

කෙසේ වෙතත් කොරෝනාව යනු මනුෂ්‍යවර්ගයා ලෙස අප සතු ඔරොත්තුදීමේ හැකියාව කොපමණදැයි කිරා මැන බලාගැනීමේ මිනුම් දණ්ඩක් වැනිය . කෙදිනක හෝ මෙම වසංගතය ලොවින් තුරන්ව යන දිනක , එම මිනුමේ අගය අපට දැනගැනීමට හැකිවනු ඇත .

කොරෝනාවෙන් පසු ලෝකය , කොරෝනාවට පෙර ලෝකයට වඩා බොහෝ වෙනස්කම් සහිත , තැනක් වනු නොඅනුමානය ,නමුත් එම වෙනස්කම් වලටද අප අනුවර්තනය විය යුතුය , හුරු විය යුතුය , මුහුණ දිය යුතුය .

පැතුම් වික්‍රමරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment