විශේෂාංගසිව්කොණ

Share now!

අමරබන්දු පාරට බැස්සේ කිතුල් පැණි බෝතලයක් මිලට ගැනීම සදහා කඩ පොලට යන අටියෙනි. ගුරු පාර දිගේ මද දුරක් පැමිණි ඔහු හට දක්නට ලැබුණේ මී මැස්සන් මල් රොන් සොයා යන්නාක් මෙන් මිනිසුන් පොදි කන ගමේ වෙදමහතාගේ නිවසේ වත්තයි. මේ වයිරසේ අස්සේ වෙද මහත්තය ඡන්දෙ ඉල්ලන්නවත් යනවද සිතූ අමරබන්දු වෙද ගෙදර පැත්තට ගෑටුවේ දෙගිඩියාවෙනි.

 

වෙද ගෙදරට හැරෙන පාරෙ ඉදන්ම සෙනග පොදි කන බැවින් අමරබන්දු හට වෙද මහත්තයා බැහැ දැකීම හිතූ තරම් පහසු කටයුත්තක් නොවන බැව් හැගී ගියේය. ආණ්ඩුවෙන් කියූ මීටරේ දුර තියා මිලිමීටරයක තරම් වත් පරතරයක් ඒ පොදි කෑ මිනිසුන් අතර නොවීය. කොයිකටත් තෛලෙ කියාගත් ඔහු එතෙක් බෙල්ලේ එල්ලාගෙන සිටි මුඛවාඩමෙන් කට වසාගෙන සෙනග අතරට එකතු වූයේ ගමේ අදුනන ඈයෙක් වෙතොත් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීම සදහාය. සිය ගණනක් දෙනා එකට පොදි කෑවද ඒ එකෙක්වත් ගමේ උන් නොවුන බැවින් අමරබන්දු අන්දුන්කුන්දුන් විය. පැමිණ සිටි මිනිසුන් ගණනටම ඉන්දියානු මොටර් බයිසිකල් හා ස්කූටර් මග දෙපස වූ අතර තවත් දුරක් යනවිට සැප කාර් හා ජීප් ගණනාවක් ද විය. අමරබන්දුගේ ඔලුවත් තෝන්තු වීය. කොයික වෙතත් ඔහු ළගපාත හුන් කොලුවාගෙන් විස්තර විමසීමට ඉටා ගත් ඔහු ඇස්මානයේ හුන් තරුණයාවෙත කිට්ටු විය.

“මල්ලි මේ පළාතෙ නෙවෙයි වගේ” අමරබන්දු ඇසීය

“නැහැ මම කොළඹ” ඔහු අකමැත්තෙන් මෙන් පිළිතුරු දුන්නේය.

“මල්ලි මොනව ගන්නද මේ පෝලිමේ ඉන්නෙ?” අමරබන්දුගේ ප්‍රශ්න හමුවේ පුෂ්පානන්දය පත්වූ කොළඹ තරුණයා නැවතත් ඔහු දෙස. නොරුස්නා බැල්මක් හෙලීය

“මම ආවෙත් ඔයා ගන්න ආපුදේ තමයි” එවය තරුණයා පැවසීය.

“පැණිද”

“ඔව් අනේ” මම පාන්දට හතරෙ ඉදන් මෙතන, තරුණයා එවර පැවසූයේ අමරබන්දු දෙස රවා බලමිනි.

“වෙද මහත්තය කිතුල් මදින්නේ නැහැනෙ මල්ලි, මම නම් මේ උපන්තෙකට ඇහුවමයි” අමරබන්දු අන්දුන්කුන්දු වී ඇසුවේය.

“මම දන්න කිතුලක් නැහැ අංකල්, මේ පැණිය වයිරසේට ගුණයි කියලනෙ කියන්නෙ” අමරබන්දුගෙන් ගැළවීමක් නැති තැන ඔහු මුසපත් වී කීවේය.

“එතකොට කීයක් වෙනවලුද බෝතලයක්?” අමරබන්දු ඇසුවේ වටපිටද බලමිනි

“පිස්සුද ලොක්කා.. මේ පැණි බෙදන්නේ නොමිලේ නෙ” තරුණයා ගේ වදනින් අමරබන්දු පිනා ගියේය.

“නිකං දෙනව නම් ඔන්න ඔහේ ගම්මු මල්ලි” කියාගත් අමරබන්දු, තරුණයා මෙන් සෙස්සන් සමග පැණි සදහා තෙරපෙන්නට වූයේය.

 

“පෝලිම් වෙන්ඩලා, මාස්ක් දා ගන්නඩලා” පොලිස් රාලහාමි කෙනෙක් කෑගසාගෙන යන අතරමග අමරබන්දු සමීපයේ නතර විය.

“අමරබන්දු උන්නැහේ ඔහේ වත් පෝලිමට හිටගන්නවකො.. මට එපා වෙලා තියෙන්න උදේ ඉදන් මේ සෙනග පෝලිමට ගාල් කොරන්න ගිහිල්ලා.

“අනේ ඇයි රාළහාමි එහෙම කියන්න, අපේ උන්ගෙ ආසාවනෙ, ඕක මැතිනිගෙ කාලේ සමූපෙන් හාල් ගන්න පොරකාපු පුරුද්දනෙ, අනික ඕකනෙ රාළහාමි අපේ උන්ට තියෙන එකම විනෝදෙ” අමරබන්දු පොලොස් රාළහාමි වෙත පෑවෙ බයාදු සිනහවකි.

 

අවසන අමරබන්දුගේ වාරය එළඹෙන විට සවස ජාමය වී තිබුණේය. ඒ වනවිට වෙදමහතා පැණි බෙදා හොදටම තෙහෙට්ටු වී සිටියේය. පුංචි පැණි කුප්පියක් අමරබන්දු අත තැබූ ඔහු පිටව යන ලෙස අතින් සන් කළේය.

“අනේ බුදු වෙද මහත්තයො.. අඩුම තරමේ කාලෙ බෝතයක තරම් වත් දෙන්නකො වටලප්පමකට දාන්නවත් මදි නොවැ” අමරබන්දු බයාදු ලෙස කීය.

“තොට පිස්සුද බොල.. මගේ වයිරස් පැණිය වටලප්පන් වලට දාන්න” වෙද මහතාගේ මුහුණේ අබ බදින තරමට රතු වී සිටියේය.

“වයිරස් පැණි.. එතකොට මේ කිතුල් පැණි නෙවෙයිද…” කියා අමරබන්දු කියන විටම

“අමරබන්දු උන්නැහේ මේ.. මගෙන් දෙකක්….” වෙදමහාතා තව බොහෝ දේ කීවත් අමරබන්දු එතැනින් පැනගත්තේය.

ජුණ්ඩි කුප්පිය ඉණේ ගහගත් ඔහු කිතුල් පැණි ගැනිල්ල පසෙක තබා ගෙදර යාමට සැරසුනේ කිතුල් පැණි නොමැතිව හිස් අතින් ගෙදර යෑමෙන් ඔහුගේ දෙසවන් පිරෙන්නට සිය අඹෑණියගෙන් අසාගන්නට ඇති අවදානමද නොතකාය.

මහමගට පැමිණි ඔහුහට දැක ගන්නට ලැබුනේ එකම විජ්ජුම්බරයකි. සෑම ගසක් යටම අටවාගත් ලෑලි තට්ටුමත තබාගෙන ජනතාවට පැණි වරිග බෙදන සෘෂිවරුන්ය. රාවණා පැණිය, විශ්වශක්ති පැණිය, කුණ්ඩලීනි ශක්ති පැණිය යනාදී වශයෙන් පැණි හල් සැමතැන්මය.

“මුලු අවුරුද්දෙම කිරි ඉතිරිච්ච එකේ, පැණි එන්නේ අවුරුද්දෙ අගට වගේ” කියාගත් අමරබන්දු ආපසු හැරුණේය.

 

නීතිඥ තිලංග ෆොන්සේකා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment