නවතම පුවත්

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනිය පාස්කු කොමිසමට අපහාස කර නෑ – කොමිසමේ බහුතර මතය කියයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසමට අපහාස කළ අයෙකු ලෙස නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය නම්කරන ලෙස විනය පියවර ගැනීමට නිර්දේශ වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ පාර්ශවය කළ ඉල්ලීම කොමිසමේ බහුතර මතය අනුව අද (21) ප්‍රතික්ෂේප වී තිබේ.

නිෂාරා ජයරත්න මෙනෙවිය ජනාධිපති කොමිසමට අපහාස කළේද නැත්ද යන්න සම්බන්ධයෙන් මෙහිදි ජනාධිපති කොමිසම බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඇය එලෙස කොමිසමට අපහාස වන සේ හැසිරී ඇති බව තීරණය කළ නමුත් කොමිසමේ සෙසු විනිසුරුවන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිෂාරා ජයරත්න මෙනෙවිය කිසිදු ආකාරයකින් ජනාධිපති කොමිසමට අපහාස කර නැතැයි ප්‍රකාශයට පත් කළහ.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරින් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබී ඇත.

ඒ බව හෙලිවුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සාක්ෂි ලබාදීමට අද(21) පැමිණි අවස්ථාවේදීයී.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අදාළ ප්‍රශ්නගත ගොනුව යොමුකර තිබුණේ 2017 වසරේදී ය. පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් එම ගොණුව භාරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික් අසීස් යන නිලධාරීන් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පසුගියදා කරුණු අනාවරණය විය.

එදින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ නීතිඥවරයා කොමිසමෙන් කළ ඉල්ලීමක් මත නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවියගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා කැඳවනු ලැබීය.

ඒ නීතිපතිවරයා විසින් 2019.06.18 දින එවකට වැඩබලන පොලිස්පතිවරයාට යොමුකර තිබූ ලිපියක් ඇසුරින් සකස් කෙරුණු මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් විමසීමටය.

එදින අසාද් නවාවි මහතාගේ නීතිඥවරයා ප්‍රශ්න කිරීම් සිදුකරන ආකාරය පිළිබඳව අවධානය යොමුකරමින් තමන්ටද නීතී සහයක් අවශ්‍ය බව පවසා සාක්ෂි ලබාදීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස සාක්ෂිකාරිය කළ ඉල්ලීම අනුව වැඩිදුරටත් සාක්ෂි විමසීම ඊයේ දක්වා කල්තැබිණ.

සාක්ෂි විමසීම ආරම්භයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ නිෂාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් නීතිඥ සහය සඳහා පෙනීසිටීමට තමන් විරුද්ධ බවයි.

එහිදී කොමිසම සමඟ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ ව සිටි නිෂාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් පෙනීසිටින රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා සඳහන් කළේ එලෙස පෙනීසිටීමට බාධාවක් නොමැති බවයි.

සිය කරුණු දැක්වීම අතරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා හෙළිකළේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරින් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසම විසින් දෙසැම්බර් 15 වෙනිදා පිළිතුරු එවා ඇති බවයි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහුට දැන්වූවේ ඒ සම්බන්ධයෙන් යමක් දැන්වීමට ඇත්නම් නිසි ක්‍රියාදාමය අනුව දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ජනාධිපති කොමිසමට දන්වන ලෙසයි.

අනතුරුව සාක්ෂිකාර නිෂාරා ජයරත්න මෙනෙවියගෙන් සාක්ෂි විමසීම යළි ආරම්භ කෙරුණි.

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා –
” 2019.06.18 නීතිපතිවරයා විසින් එවකට වැඩබලන පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ තිබෙන්නේ එතුමාගේ මතය නේද ?”

රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ – සාක්ෂිකාර නිෂාරා ජයරත්න වෙනුවෙන් –
” පසුගිය අවස්ථාවෙත් ස්වාමිනි 18 වතාවක් පමණ මේ ප්‍රශ්නය මේ ජනාධිපති නීතිඥතුමා අසා තිබෙනවා. දැනටමත් මේ සාක්ෂිකාරිය ඊට පිළිතුරු දීලා තිබෙන්නේ ”

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා –
” ඍජු පිළිතුරු ලැබුණේ නැති නිසානෙ අහන්නේ. ඒ ලිපියේ තිබුණේ නීතිපතිවරයාගේ මතය නේ සාක්ෂිකාරිය. එහෙම නේද ?”

සාක්ෂිකාර රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න – නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී –
” ඒ ලිපියේ දක්වා ඇති සියලු කාරණා නීතිපතිවරයාගේ මතය නෙවෙයි වැඩබලන පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් පමණයි ස්වාමිනි. මේ ලිපියේ ස්ථාන දෙකක ‘උපදෙස් දෙම්’ කියලත් සඳහන් වෙනවා. කාසියක දෙපැත්තක් තිබෙනවා ස්වාමිනි. ඒ වගේම මෙතනත් එක පැත්තක් තමයි අසම්පූර්ණ ගොනුවක් නිසා ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන්න කියලා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙනවා. අනෙක් පැත්ත ස්වාමිනි අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගකීම පැහැර හැරීමක් කළාද කියන කාරණය පොලිස්පතිවරයාට දැනුම්වත් කළ යුතුත් නැහැ. ”

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා –
” ස්වාමිනි ඇය තවමත් පෙර දිනයේ වගේමයි උත්තර දෙන්නේ. අහපු ප්‍රශ්නයට ඇය කාගෙ හරි ඉල්ලීමක් මත දිගින් දිගටම වමාරනවා. මන් අද යළිත් ඉල්ලා සිටිනවා ඇය මේ කොමිසමට අපහාස කළ කෙනෙක් ලෙස සලකා කටයුතු කරන්න කියලා ස්වාමිනි ”

මෙහිදී නිෂාරා ජයරත්න මෙනෙවිය ජනාධිපති කොමිසම හමුවේ සංවේදී වෙමින් හඬමින් සාක්ෂි ලබාදෙනු දැකිය හැකි විය.

සාක්ෂිකාර රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න – නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී –
” මම කොමිසමට අපහාස කළා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා සතුටක් ලබන්න මේ අයට අවශ්‍යනම් එය අසාධාරණයි ස්වාමිනි. මම කිසිදු අවස්ථාවක මේ ගරු කොමිසමට අපහාස කළේ නැහැ. අහපු සියලුම ප්‍රශ්නවලට උත්තර දුන්නා. මම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී නිසා ඒ නිලයට හා නමට කැළලක් එක් කරන්නයි ඔවුන් උත්සහ කරන්නේ. එය කණගාටුවට කරුණක් ස්වාමිනි”

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි