විශේෂාංග

Share now!

 

නුවන් රයිගමගේ

 

 

 

සොබා සොඳුරු සෞන්දර්යයෙන් අනූන වූ ලක් මාතාවගේ සිරිය විඳීමට ලොව නන් දෙසින් පැමිණි සංචාරකයින්ට මෙම පොළොව තහනම් කලාපයක් වී ඇති බව නොරහසකි.

උණුසුම සිසිල අතරෙහි සම ගුණ රැඳුණු ඇති මහා සමුදුර පවුරකින් වටවුණු මෙම පුණ්‍ය භූමියේ වටකරගත් රන්වන් වෙරළ තීරයත්, කෙත් වතු මැදින් ඇදෙන මනාලියකගේ වේල් පොට වැනි දිය ඇලි ගංගා ද, ප්‍රෞඩ ඉතිහාසයක අභිමානය කියාපෑ අනුරපුර පොළොන්නරුව පැරණි නටඹුන් නගරයන්ද, අද හුදකලා වී ඇත.

අනුරාධපුරය, පොළොන්නරුව මෙන්ම සීගිරි ගලේ ඉහළටත් පහළටත් දිනකට දෙතුන්වරක් ඉතිහාසය විග්‍රහ කරමින් කඩිසරව ඇවිදගිය සංචාරක මගපෙන්වන්නන් ද, සිහිවටන අලෙවි කරුවන්ද, ලැගුම්හල් හිමියන් සහ ඒවායේ සේවක සේවිකාවන්, මෙන්ම තවත් නොයෙකුත් සේවාවන් සැපයූවන් අද නටබුන් නගර දෙසත් මහ සමුදුර දෙසත් නෙත් යොමා සුසුම් හෙලමින් සිටිති.

සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තය මත සිය පණ නල රැඳවූ පවුල් ලක්ෂ හතර හමාරක පමණ මෙම පිරිසගේ වර්තමානය සහ අනාගතය පිළිබඳ සහතිකයක් නිකුත් කළ හැකි ජීවියකු මෙලොව සිටි නම් ඒ covid-19 නම් වූ වෛරසයම පමණි.

කොවිඩ් වෛරසය විසින් ලොව සුප්‍රකට සංචාරක ගමනාන්තයන් හුදකලා කර තබා ඇති මොහොතක මහ මුහුදින් වටවුණු ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක සංචාරක ව්‍යාපාරය යථාතත්ත්වයට පත් කළ හැකිද යන්න උභතෝකෝටික ගැටලුවකි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්කර ගත නොහැකි වුවහොත් මෙම ක්ෂේත්‍රය මත යැපෙමින් තම අඹුදරුවන් පෝෂණය කළ ලක්ෂ හතර හමාරකගේ කුසගින්න නිවාලන්නේ කවරහු ද?

ලෝකයේ අවිනිශ්චිත ක්ෂේත්‍රයන් අතර සංචාරක ක්ෂේත්‍රයට හිමිවන්නේ ඉහල ස්ථානයකි. එනම් සංචාරක ක්ෂේත්‍රය යනු ලෝකයේ ඕනෑම දේශගුණික, දේශපාලනික, ආර්ථිකමය හෝ සමාජයීය තත්ත්වයකට සංවේදීවන ක්ෂේත්‍රයකි.

සංචාරක ව්‍යාපාරය මත යැපෙන ඇතැම් දියුණු රටවල් මෙම තත්ත්වය පිළිබඳව පූර්ව අවබෝධයකින් ක්‍රියාකරන අතර ක්ෂේත්‍රයේ යම් කඩා වැටීමක දී එම ක්ෂේත්‍රමය මත යැපුණු පිරිසගේ ආර්ථිකයට අවම වශයෙන් සය මසක්වත් ශක්තියක් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට තිබේ.

නමුත් ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල එම තත්වය දකින්නට නොමැත. විශේෂයෙන්ම කිවහෙත් ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයකදීම නොයෙකුත් ව්‍යසනයන්ට මුහුණ දී සංචාරක ක්ෂේත්‍රයේ දැඩි බලපෑම් ඇති රටකි. එම කිසිදු අවස්ථාවක් පාඩමකට ගෙන මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ක්ෂේත්‍රයේ නියැළෙන්නන් මෙන්ම පාලකයෝද උත්සුක නොවීමේ විපාකය අද අපි විඳිමින් සිටිමු.

ව්‍යසනය ඇරඹී ඇත. අතීතයේ මෙයට පිළියම් නොසෙව්වන්ට හෝ අතීසාරයනට අමුඩ ගැසූවන්ට විරුද්ධව දොස්-පරොස් නැගීමටවත් විරෝධය පලකර සිටීමෙන්වත් ඵලක් නැත. අප දැන් සිතිය යුත්තේ මෙම ව්‍යසනයට ගොදුරු වූවන්ට පිළිසරණක් වන්නේ කෙසේද, මොවුන් මෙම තත්වයෙන් ගොඩගන්නේ කෙසේද යන්න පමණකි.

එසේ නොවන්නට තව නොබෝ දිනකින් වාරික ගෙවා ගත නොහැකිව අසරණ වන සංචාරක මාර්ගෝපදේශක රියදුරන්ගේ ද කර්මාන්තය මත සෘජුව ජීවත් වූවන්ගේ ද ශෝචනීය ශෝකාලාප යන්ට සවන් දීමට සිදුවනු නොඅනුමානය.

සංචාරක ව්‍යාපාරය යළි බල ගැන්වීම ජාතික අවශ්‍යතාවක් බවට පත්වී ඇති මෙවන් මොහොතක නවීන තාක්ෂණය නව උපායමාර්ගික ක්‍රමවේද මෙන්ම දැඩි ආරක්ෂක ක්‍රමවේද ද භාවිතය තුළින් සංචාරක ව්‍යාපාරයට නව ආරම්භයක් ලබා දිය යුතු නොවේදැයි මට සිතේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment