විශේෂාංග

Share now!


සටහන:- ප්‍රියන්ත ජයකොඩි
නියෝජ්‍ය පොලිස්පති

මේ දවස්වල විල්පත්තුව වගේම සිංහරාජය සුරැකීම සම්බන්ධව විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ ජාලා මාධ්‍ය තුලත් විශාල කතිකාවක් ගොඩනැගෙමින් පවතිනවා. මම මුලින්ම සිංහරාජයට පය තිබ්බේ 1987 වර්ෂයේ. ඒ මීට අවුරුදු 31 කට උඩදී. ඒ 1987 ජුලී මස 07 වෙනිදා තමයි මම සිංහරාජ වනයේ වැඩිපුරම අයත් වන කලවාන පොලීසියේ ස්ථානාධිපති හැටියට පත්ව ගියේ. එදා ඉදලා මේ දක්වා අවම වශයෙන් අවුරුද්දට දෙවතාවක්වත් සිංහරාජයට යනවා. ඒක හරියට අපේ ගම්වල උපාසක අම්මලා සිරීපාදේ කරුණාකරනවා වගේ වාර්ෂිකව සිදු කරන්නක්.

සිංහරාජ වනය පරිපාලන දිස්ත්‍රික් 04 කට මායිම වෙනවා. ඒ තමයි සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය, බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කය, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්. සිංහරාජයේ ප්‍රධාන පිවිසුම පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් වසමේ වැද්දාගල ගමේ “කුඩව” කියන ප්‍රදේශයේ. මෙම ස්ථානයේ ප්‍රධාන පිවිසුම වගේම වන සංරක්ෂණ කාර්යාලය පිහිටා තිබෙනවා. ඒ දවස් වල සිංහරාජය ඇතුලට ගියහම වෙලාවට දවස දෙක අපි එහි ගත කරනවා. උපාධි නොලත් මහාචාර්යවරයා ලෙස සේවය කල මාර්ටින් විජේසිංහ මහතා විසින් පවත්වාගෙන යනු ලැබූ “පුංචි හට් එකක්” කුඩව පිවිසුමට කිලෝමීටර් කිහිපයක් දුරින් සිංහරාජයේ ඇතුලේ තිබුණා. ඒ දවස් වල මේ හට් එකේ මම දවස දෙක ගත කරලා තියෙනවා. කෑමට පොල් රොටී සමග ලුණු මිරිස මෙන්ම ප්ලේන්ටිය මාර්ටින් අයියගෙන් වැරදුනේ නැහැ. මේ දවස්වල හිටපු වන සංරක්ෂක මහාචාර්ය සරත් කොටගම මහතා සිංහරාජයට එනවා. වනය වගේම සංක්‍රමණික කුරුල්ලන් සම්බන්ධයෙන් කොටගම සර් එයාගේ පර්යේෂණ සදහා හේතුවක් කර ගත්තා. විශේෂයෙන් සිංහරාජය තුල පිහිටා තිබෙන වාරුකන්දෙනිය සහ ලංකාගාම කියන ගම්වල වැසියන්ට කොටගම සර් වනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වැඩමුළු පැවැත්වුවා. හැබැයි උපන් දා සිට කැලෙත් එක්ක ජීවත් වෙච්ච මේ මිනිස්සුන්ගෙන් වනයට කවදාවත් හානියක් සිද්ධ වුනේ නැහැ. වන විනාශය කලේ ලී මුදලාලිලා සහ එම අපරාධ ගැන ඇස්කන් පියාගෙන ඉන්න කලිසම් කෝට් අදින ලොක්කෝ.

සිංහරාජයේ ඇතුලේ ලස්සන තැනක් තියෙනවා. ඒ තමයි “සිංහ ගල‍”. සිංහ ගල මුදුනට නැග්ගහම මුළු පළාතම ලස්සනට පේනවා හරියට කොළ පාට බ්ලැන්කට් එකකින් වැහුවා වගේ. හරිම ලස්සනයි. එක් අවස්ථාවක මම යාළුවෝ කිහිප දෙනෙක් එක්ක වැද්දාගල පිවිසුමෙන් උදේ පාන්දර සිංහරාජ වනයට ඇතුල්වෙලා හවස් වෙද්දි නෙළුව සිංහරාජ තේ ෆැක්ටරිය ලගින් එලියට ආවා. මේ ස්ථාන දෙක අතර වාහනයකින් ගමන් කලා නම් කිලෝමීටර් 100 කට ආසන්න දුරක් තියෙනවා. ඒත් සිංහරාජය මැද්දෙන් යද්දි කිලෝමීටර් 15 ක් වගේ දුරක් තමයි අපට දැනුනේ. ඒක හරිම විනෝදජනක ගමනක්.

සිංහරාජය සැලකෙන්නේ සදාහරිත වනයක් හැටියට දැන් එය ලෝක උරුමයක් බවට පත් වෙලා තියෙනවා. “කැහි බෙල්ලා” (Blue Magpie) සිංහරාජ වනය තුල මම දැක්ක ලස්සනම කුරුල්ලෙක්. මම හිතන හැටියට කැහි බෙල්ලා තමයි ලංකාවේ ලස්සනම කුරුල්ලා. ලා නිල්පාට පිහාටු, ඔළුව හරියේ රන්වන් දුඹුරු පාටයි. හැබැයි සිංහරාජය තුලදී වුනත් කැහි බෙල්ලා දකින්න තියෙන අවස්ථාව ඉතා දුලඹයි. “කුඩා හැඩයා, මහා හැඩයා, හීන් හැඩයා, ඉර රාජ, සද රාජ වගේ ඉතා දුර්ලභ ගණයේ ඕකිඩ් වර්ග සිය ගණනක් සිංහරාජය තුල තියෙනවා.

සිංහරාජයේ වපසරිය හෙක්ටයාර් 8864 ක්. මෙම ප්‍රමාණය මුහුදු මට්ටමේ සිට අඩි 300 ක් 1170 ක් අතර පැතිරිලා තියෙනවා. කළුගග, නාපොල දොළ, කොස්කුලන ගඟ, කුඩව ගඟ සිංහරාජය තුලින් ගලා බසින ප්‍රධාන දිය දහරාවන්. මෙම දියදහරාවන්ගෙන් සමහරක් ගොන් ගල මුදුනෙන් පටන් ගෙන ගාල්ලෙන් මුහුදට වැටෙන ගිංගඟටත්, සමහරක් සිරීපාද අඩවියෙන් පටන්ගෙන කළුතරින් මුහුදට වැටෙන කළු ගඟටත් එකතු වෙනවා. ලංකාවට ආවේනික කුරුළු වර්ග 20 න් 19 ක්ම සිංහරාජ වනයේ ඉන්නවා. ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුත් සිංහරාජය රැක ගැනීම අප සැමගේ යුතුකමක්.

වන සංරක්ෂණය ගැන කියද්දි මට පුංචි කතාවක් මතක් වුනා. ඒ කාලේ කලවාන ස්ථානාධිපති හැටියට මමත් දිසා වන නිළධාරි ලෙස සේවය කරනු ලැබූ ලලිත් ගමගේත් හොද යාළුවෝ. ලලිත්ගේ තාත්තා පොලිස් නිළධාරියෙක් ඒ හින්දා එයාට පොලීසිය ගැන හොද වැටහීමක් තිබුනා. අපේ යාළුකම වසර 31 ක් වෙන අදටත් හොදට තියෙනවා. අපි ලලිත්ව හදුන්වපු අනුවර්ථ නාමය වනුයේ “කැළෑවා”. කැළෑවා ඇත්තටම වනයට ආදරය කරපු සහ ආදරය කරන රාජ්‍ය නිළධාරියෙක්. වන සංරක්ෂණය තුල ඔහු කළුගල් වල ඔළුව ගහගත්ත වාර අනන්තයි. ලලිත් දැන් අනුරාධපුර දිසා වන සංරක්ෂක නිළධාරියායි. මේ කාලයේ රක්වාන මහේස්ත්‍රාත් හැටියට හිටියේ දැන් අභියාචනාධිකරණ විනිසුරුව සිටින සුනිල් පෙරේරා මහතා. එතුමා සිංහරාජයට දැඩිව ඇළුම් කල විනිසුරුතුමෙක්. කලවාන ප්‍රදේශයේ තිබෙන රජයේ කැලෑවල ඉදල හිටලා කැළෑ කැපීම් සිද්ධ වෙනවා. මෙම සිද්ධීන් වල විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන කොට මමයි ලලිතුයි පුරුද්දක් හැටියට කරපු දෙයක් තමයි මෙම සිද්ධීන් සම්බන්ධව අධිකරණයට ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමේදී හැමවිටම, “ස්වාමීනී මෙම වන අපරාධය සිදුවී තිබෙන්නේ සිංහරාජයේ පිටත වනයේ” කියලා කියන එක. මොකද ඒ වන විට සිංහරාජයේ මායිම් ලකුණු කරලා තිබුනේ. සිංහරාජය කියලා ඇහිච්ච ගමන් සුනිල් පෙරේරා විනිසුරුතුමා විත්තිකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන තත්වයක් තිබුනේ. ඒ කාලේ අපිත් එක්ක සංචාරක උසාවියේ නීතීඥයෙකු ලෙස සේවය කල ශ්‍රේෂඨ දේශපාලඥයෙකු වශයෙන් මම අදටත් ගරු කරන “සරත් අප්පෝ” එහෙම නැත්තම් කලවාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම මහතා සමග මමයි ලලිතුයි නිතරම හැප්පුනා. සිංහරාජයේ පිටත වනය කියන වචනය ගැන හොදින් අහගෙන හිටපු සරත් මුත්තෙට්ටුවේගම මහත්තයා හරි අපූරුවට කිව්වා. “ස්වාමීනි මේ පොලිස් නිළධාරියාටයි, මේ කැලෑ නිළධාරියාටයි මේ අධිකරණය ඉදිරිපිට තියෙන අඹ ගහෙන් එහා හැම තැනක්ම සිංහරාජයේ”. එහෙත් සුනිල් පෙරේරා විනිසුරුතුමා සුපුරුදු ලෙස හිනාවෙලා විත්තිකරුවන්ට එරෙහිව දඩුවම් ලබා දුන්නා.

සරත් මුත්තෙට්ටුවේගම මහතා ඉතා හොද ජනහිතකාමීයෙක්. මුත්තෙට්ටුවේගම වලව්වෙන් බිහි වුනත් ඔහු ඇසුරු කලේ පුංචි මිනිස්සු. අධිකරණයේ පෙනී සිටියේ ඒ මිනිස්සුන්ගේ හඩ වෙනුවෙන්. හැබැයි ගෙදර යද්දි හැමදාම සල්ලි වෙනුවට අරගෙන ගියේ අර පුංචි මිනිස්සු ගෙනත් දෙන කිතුල් හකුරු මුලක් හරි පැනි මුලක් හරි තමයි. සමහර දවස් වල විත්තිකරුවන්ගේ දඩ මුදල් ගෙව්වෙත් සරත් අප්පෝ විසින්මයි. අධිකරණය තුලදී අපි කොච්චර හැප්පුනත් අධිකරණයේ වැඩ ඉවර වුනාට පස්සේ ඉතා හොද මිත්‍රයෝ හැටියට ඇසුරු කලේ.

සිංහරාජයේ තවත් ලස්සනම ප්‍රදේශයක් තමයි රක්වාන – දෙනියාය මාර්ගයේ බුළුතොට වංගු 10 පහු කරලා සූරියකන්ද කඩ මුදුන ප්‍රදේශයේ “එග් බ්ර්ත්” රාජ්‍ය වතුයාය තුලින් විහිදෙන පාරේ කිලෝ මීටර් 07 ක් ගියහම හම්බවෙන “Morning Side” තැන්න. සුද්දන් මෙම ස්ථානයට “Morning Side” කියලා කිවුවට අපි හැදින්වුයේ “සදාහරිත හිමිදිරිය” ඒකත් සිංහරාජ ඇතුලේ තියෙන ලස්සනම තැනක්.

“සදාහරිත හිමිදිරිය” පිහිටලා තියෙන්නේ දෙනියාය – කොළොන්න පොලිස් වසම් වලට මායිම්ව. ඒ කාලේ මෙම ප්‍රදේශයේ කොළඹ ධනවත් ව්‍යාපාරිකයෙක්ට අයත් බංගලාවක් සහ එනසාල් වත්තක් තිබුනා. මේ බංගලාව බලාගන්න හිටිය තරුණයා අපේ හොද මිත්‍රෙයක්. මගේ කොළාන්න පොලිස් ජීවිතය තුල මෙම බංගලාවේ සහ සදාහරිත හිමිදිරියේ ගත කරපු සුන්දර අවස්ථා වාර අනන්තයි. මෙම ප්‍රදේශයේ නිතැතින්ම ගෝනා, දිවියා සහ සිංහරාජයටම ආවේණික සතෙකු වූ වලස් වදුරා (Bear Monkey) දැකගන්න පුළුවන්. මේ ගමනේදී තමයි මම පළමු වතාවට කැලෑවේදී උනහපුළුවෙක් දැක්කේ. මේ ගමන් ඒ කාලේ හරිම සුන්දරයි.

සදාහරිත හිමිදිරියේ තියෙන බංගලාව 1971 තරුණ කැරැල්ල අවස්ථාවේ දෙනියාය ප්‍රදේශය තම අනසකට යටත් කර ගෙන හිටිය “ගාන්ධි” ලෙස හැදින්වෙන කැරළි නායකයා සැඟව සිටි නිවස ලෙස හැදින්වෙනවා. කැරැල්ල අවසාන කාලයේ යුධ හමුදාව විසින් මෙම නිවස වටකර ගාන්ධි අත්අඩංගුවට ගත් බව සැලකෙනවා. ඒ අවස්ථාවේදී ඇති වූ වෙඩි සලකුණු 1988 වර්ෂයේ මම ඒ නිවසට යනවිටත් බිත්ති වල සටහන්ව තිබුනා.

මගේ මේ සටහනෙහි සිංහරාජය ගැන සටහන් කලේ ඉතා කුඩා කොටසක් විතරයි. වසර දෙකහමාරකට අධික කාලයක් සිංහරාජය සමඟ ඇලී ගැලී ගත කල සුන්දර ජීවීතය ගැන පොත් ගණනාවක් වුනත් ලියන්න පුළුවන්. ඒ පරිසරය ඒ තරමටම ලස්සනයි, සුන්දරයි. ඒ පරිසරයේ සුන්දරත්වය විදගැනීම මෙන්ම අපේ මතු පරපුරට ඒ වින්දනය ලබාගැනීමට සුරකීම අපගේ ප්‍රධාන යුතුකමක් බවයි අදහස් කරන්නේ.

මේ ගැන තවත් තොරතුරු ඉදිරි කාලයේදී සටහන් ලෙස එක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සුන්දර “Deep Deen තැන්න”, රක්වාන කදු, බුළු තොට හෙල්, වංගු 10 යේ පස්වන වංගුවේදී නොවරදීම හමුවන කොටියා ගැන ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment