EXPRESS RESEARCHවිශේෂාංග

Share now!

 

අප හැමදාමත් අසා දැක  තිබුනේ ධනවත් ,  බලවත් සංවර්ධිත  රටවල් විසින් , තුන්වන ලෝකයේ අසංවර්ධිත , දිළිඳු රටවල් වෙත විවිධාකාර ආධාර උපකාර ලබාදෙන අයුරුය . එසේත් නැතිනම් එම දිළිඳු රටවල විවිධාකාර ව්‍යාපෘති සඳහා ආයෝජනයන් සිදුකරන අන්දමය .

වීශේෂයෙන් බටහිර මාධ්‍ය හරහා නිරන්තරවම පෙන්වාදුන්නේ  මෙම දිළිඳු රටවල් කෙරෙහි උපන් අනුකම්පාවෙන් , එම රටවල්වල දරිද්‍රතාවය තුරන් කර , සංවර්ධනය කරා ඔසවා තැබීමේ පරම පවිත්‍ර චේතනාවෙන් , ධනවත් බලවත් රටවල් මෙසේ  නිරන්තරයෙන්ම  ණය ආධාර හා සහන ලබාදෙන බවකි . එම  මාධ්‍ය  වාර්තාවලට අනුව නම් මෙම ධනවත් රටවල් සාමාන්‍යයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 125 කට ආසන්න මුදලක්වත්  සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබාදේ .

නමුත් අපට දකින්න , අසන්න තිබෙන මෙම වාර්තා දත්ත සියල්ල සත්‍යයමද ? බලවත් රාජ්‍යයන් මෙන්ම ඒවායේ ඕනෑ එපාකම් අනුවම  ක්‍රියාත්මක වන මාධ්‍ය හරහා කියවෙන මෙම කතා,  කිසිදු වග විභායකින් තොරවම අපට  පිළිගත හැකිද ?

නොර්වේහි  ආර්ථික කටයුතු පිලිබඳ අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කේන්ද්‍රය හා  ගෝලීය මූල්‍ය අඛණ්ඩතාවය ( GFI ) එක්ව සුවිශේෂී දත්ත  වාර්තාවක් පසුගියදා  නිකුත් කළේය .  ධනවත් හා දිළිඳු රටවල් අතර වසරක් පාසා හුවමාරු වන සියලුම අකාරයේ  මූල්‍ය සම්පත් පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් හා විමර්ශනයක් සිදුකර මෙම වාර්තාව සකස් කර තිබිණ . “ජී .එෆ්. අයි” වාර්තාව ලෙස කෙටියෙන් හඳුන්වන මෙමගින්  අතිශය ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කර ඇත .Sudan Archives « Global Financial Integrity

ධනවත් රටවල් විසින්  ශ්‍රී ලංකාවද ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබාදෙන ආධාර උපකාර පිළිබඳව අප තුල මෙතෙක් මැවී තිබුණු සියලුම “චිත්‍රයන්” , මෙම හෙළිදරව්වත් සමග  උඩුයටිකුරු වන්නේය .

ධනවත් රටවල් වෙතින් දුප්පත් රටවල් වෙත ගලායන මුදල් ප්‍රමාණයට වඩා, එම දුප්පත්  රටවල් වෙතින් ධනවත් රටවල් වෙත ගලා එන මුදල් ප්‍රමාණය විශාල බව මෙම වාර්තාව හරහා අනාවරණය වී ඇති සුවිශේෂීම හා වැදගත්ම කාරණාවයි .

උදාහරණයක් ලෙස 2012 වසරේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත මූල්‍යාධාර , ආයෝජන හා වෙනත් විදෙස් අදායම් මාර්ග හරහා ලැබී ඇත්තේ මෙරිකානු ඩොලර් ට්‍රිලියන1.3 ක මුදලකි . නමුත් එම වසරේදී   සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතින් ඉවතට  ඇදී ගොස් ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3ක් පමණ වේ . වෙනත් වචන වලින් කිවහොත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ආධාර ලෙස  තමන් වෙත ලැබෙන මුදලට වඩා ට්‍රිලියන දෙකක අමතර මුදලක් යලි සංවර්ධිත රටවල් වෙතම  ලබාදේ . ජී එෆ් අයි වාර්තාව මේ බව සංඛ්‍යා දත්ත සහිතවම තහවුරු කර පෙන්වාදී ඇත .

ඒ අනුව මෙලෙස  1980 වසරේ සිට 2012 වසර දක්වා  සංවර්ධිත රටවල් විසින් , දුප්පත් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතින් ලබාගෙන ඇති මුළු මූල්‍ය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 16.3කි .එනම් එම ප්‍රමාණය සමස්ත ඇමෙරිකාවේම දල ජාතික නිෂ්පාදනයේ අගයටද  ආසන්නය .

මේ අනුව බලන කල  පසුගිය කාලය පුරාවටම සිදුව ඇත්තේ ධනවත් රටවල් විසින් දිළිඳු රටවල් සංවර්ධනය කිරීම නොව ඊට හාත්පසින්ම විරුද්ධ දෙයකි . එනම් දිළිඳු රටවල් විසින් ධනවත් රටවල් සංවර්ධනය කිරීමයි .

දිළිඳු රටවල් වෙතින් එසේත් නැතිනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙතින් , මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක්  සංවර්ධිත රටවල් වෙත ඇදී යන්නේ කෙසේද ?   ඒ පිළිබඳවද ඉතා වැදගත් අනාවරණයක් ජී එෆ් අයි වාර්තාව මගින් සිදුකර ඇත .

මෙහිදී ණය වාරික ලෙස , මෙන්ම පොලී ගෙවීම් ලෙසද විශාල මුදල් ප්‍රමාණයක් දිළිඳු රටවල් වෙතින් ධනවත් රටවල් වෙත ගලා යයි . 1980 වසරේ සිට ඩොලර් ට්‍රිලියන 5කත ආසන්න මුදලක් මෙම අසංවර්ධිත රටවල් විසින් සංවර්ධිත , ධනවත් රටවල් වෙත ලබාදී ඇත .

එසේම ධනවත් රටවල ආයෝජකයින් විසින්  දිළිඳු රටවල් වල සිදුකරන ආයෝජන හරහා  ලබාගන්නා ආදායමෙන්ද  විශාල කොටසක් යලි එම ධනවත් රටවල් වෙතම ඇදී යන බව ජී එෆ් අයි වාර්තාව පෙන්වාදී ඇත . .

උදාහරණයක් ලෙස නයිජීරියාවේ තෙල් සංචිත හරහා ඊට ආයෝජනය කර ඇති විදෙස් සමාගම් උපයන අදායම සුවිශාලය . එම ආදායමෙන් වැඩි කොටසක් යලි එම සමාගම් පිහිටි ධනවත් රටවල් වෙතම ගලායයි . එසේම දකුණු  අප්‍රිකාවේ රත්තරන් ආකාර වල ආයෝජනය කර ඇති ඇමෙරිකානු සමාගම් උපයන ආදායම කොතෙක්දැයි අනුමාන කල හැකිද ? එම සුවිශාල මුදල් ප්‍රමාණයන්ගෙන්ද  වැඩි කොටසක් යලි ඇමෙරිකාවටම ගලායාම නිරන්තරයෙන්ම සිදුවේ .

කෙසේ වෙතත් මෙලෙස දිළිඳු රටවල් වෙතින් ධනවත් රටවල් කරා වැඩිම  මුදල් ප්‍රමාණයක් ගලා යන්නේ  නීති විරෝධී හා වාර්තා පොත්වලට හසුනොවන අකාරයේ, ක්‍රියාවලි හරහාය . දුප්පත් රටවල්වල ඇතිවන  විවිධ දේශපාලනික හා ආර්ථික අස්ථාවරභාවයන් , මූල්‍ය අවප්‍රමාණයන් හා අක්‍රමවත් ප්‍රාග්ධන පාලනයන පැනවීම හේතුවෙන් මෙසේ එම රටවල්වලින් මූල්‍ය වත්කම් හා ප්‍රාග්ධනය විශාල වශයෙන් පිටවීමක් සිදුවේ . නීති විරෝධී ක්‍රියාවලියක් ලෙස මෙය සිදුවන විට ඉන් සම්පූර්ණයෙන්ම වාසි ලබන්නේ ධනවත් රටවල්ය .

මෙලෙස වාර්තාගත නොවන ආකාරයෙන්   සිදුවන ,නීති විරෝධී  ප්‍රාග්ධනය ගලායාම් (Unrecorded Capital Flight ) හේතුවෙන් 1980 වසරේ සිට තුන්වන ලෝකයේ රටවල් අහිමි කරගෙන ඇති  මුළු මූල්‍ය වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 14.3 ඉක්මවා යයි .

මෙම ප්‍රාග්ධන ගලායාම් බොහොමයක් සිදුවන්නේ ජාත්‍යන්තර වෙළඳ පද්ධතිය හරහාම වීමද  විශේෂ කරුණකි . වෙළඳ “ඉන්වොයිසි” සාවධ්‍ය ලෙස සැකසීමේ ක්‍රියාවලිය හෙවත් “Trade misinvoicing “නම් ක්‍රමවේදය  ,එහිදී බහුලවම යොදා ගැනේ . trade misinvoicing යනු නීතිවිරෝධී ලෙස දේශසීමා හරහා මුදල් ගෙනයාමේ ක්‍රමවේදයකි .එහිදී  කිසියම් ජාත්‍යන්තර වානිජ්‍ය ගනුදෙනුවකට අදාළ භාණ්ඩ හෝ සේවා පිලිබඳ  , සිතාමතාම වැරදි දත්ත හා තොරතුරු ලබාදීමක් සිදුකෙරේ , විශේෂයෙන්ම එහි ප්‍රමාණය, වටිනාකම හෝ  භාණ්ඩයේ  වර්ගය, ස්වභාවය පිළිබඳව පවා අසත්‍ය තොරතුරු ලබාදීමක් සිදුවේ . මෙම ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවට අදාල පාර්ශව කීපයක් හෝ අවම වශයෙන් එක  පාර්ශවයක්   මූලික විය හැක .

සාමාන්‍යයයෙන් මෙම ක්‍රියාවලියේ ප්‍රධානතම අරමුණ  නිසි ලෙස බදු ගෙවීම මග හැරීමයි . නමුත් ඇතැම්විට  මෙම ක්‍රමය, මුදල් විශුද්ධිකරණය කිරීමට මෙන්ම  ප්‍රාග්ධන පාලනයන් මග හැරීමටද  යොදා ගැනේ . 2012 වසර තුල පමණක් , මෙම නීති විරෝධී ක්‍රමවේද  හරහා තුන්වන ලෝකයේ රටවලට   අහිමිවූ මුදල  ඩොලර් බිලියන 700 ක් ඉක්මවා ඇති බව ජී.එෆ්.අයි වාර්තාවේ දැක්වේ .

බහුජාතික සමාගම් පවා මෙම නීතිවිරෝධී ක්‍රමවේද හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල වෙතින් මුදල් සොරාගන්නා බව මෙම වාර්තාවේ පැහැදිලිවම  දක්වා ඇත . උදාහරණයක්  ලෙස එවැනි බහුජාතික සමාගමකට  නයිජීරියාවේ ක්‍රියාත්මක තම අනුබද්ධ ආයතනයක මුදල් බ්‍රිතාන්‍ය නොඉඳුල් දූපත් ( British virgin islands)හි පිහිටි වෙනත් අනුබද්ධ ආයතනයකට යොමු කල හැක. එහිදී නයිජීරියාවට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීමට හැකිවේ . එසේම  ( British virgin islands) වැනි රාජ්‍යයන් තුල මෙම මුදල් සඳහා කිසිදු බදු අයකිරීමක් සිදු නොකෙරේ . . එසේම මෙවැනි සොරකම් කරන ලද අරමුදල් සඟවා වසන් කර තැබීමටද මෙවැනි රාජ්‍යයන් වලින් සහයක් ලැබේ.

වාර්තාව තුල මෙවැනි බහුජාතික සමාගම් සිදුකරන ” මගඩි” පිළිබඳව නිශ්චිතව ගණන් හිලව් දක්වා නැත ඊට හේතුව එවැනි නිශ්චිත සංඛ්‍යාලේඛන සොයා ගැනීම අපහසු බැවිනි. නමුත් එම වාර්තාවට අනුව අවම වශයෙන් වසරකට ඩොලර් බිලියන 700කට ආසන්න මුදලක් මෙවැනි මගඩි හේතුවෙන්   අසංවර්ධිත  රටවල් වෙතින් ඉවතට ගලායයි .

මෙම බරපතල තත්වය පිළිබඳව වෙනත් වචනවලින් සරලව පෙන්වාදුනහොත් , සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් , ධනවත් රටවල් වෙතින් ආධාර ලෙස,  එක ඩොලරයක් ලබාගන්න විට, ඒ සමගම තවත් ඩොලර් 24ක මුදලක් අහිමිකර ගනී .

මෙසේ සිදුවන මූල්‍ය සම්පත් අහිමිවීම එම දිළිඳු රටවල ආර්ථික වර්ධනය පහත වැටීමට  ඍජු ලෙසම බලපාන බවද ජී එෆ් අයි  වාර්තාව පෙන්වා දී ඇත  .

ඇත්තෙන්ම මෙලෙස සංවර්ධනය වන රටවල් වල මූල්‍ය සම්පත් නීති විරෝධී ලෙස ඉවතට ගෙන යාම සඳහා බ්‍රිටිෂ් වර්ජින් දූපත් වැනි “බදුපැහැරහරින්නන්ගේ  පරාදීසයන්”  ( tax havens)  තිබීමද අත්‍යාවශ්‍යවේ . මේවායේදී  බදු පැහැර හරින්නන්ගේ  මුදල් සඳහා බදු අයනොකරන අතරම ඒවා පිලිබඳ තොරතුරු හෙළි කිරීමද සිදුනොකරයි . මෙවැනි කටයුතු කරන වංචනික ආයතන පිහිටි  ප්‍රදේශ  හඳු නාගැනීම අපහසු නැත , දැනට  ලොව,පුර මෙවැනි ස්ථාන 60 ක් පමණ ඇති බවට හඳුනාගෙන ඇත . ඒවායින් වැඩි ප්‍රමාණයක් පාලනය කරනු ලබන්නේ බටහිර රටවල් කිහිපයක් විසිනි .Sri Lanka's tax haven plan and EU's money laundering blacklist - The Morning - Sri Lanka News

ලක්සම්බර්ග් , බෙල්ජියම් , යුරෝපයේ පවතින මෙවැනි ස්ථාන කිහිපයකට නිදසුන් වන අතර ඇමරිකාවේ ඩෙලවෙයාර් හා මැන්හැටන් ද මෙවැනිම බදු වංචාකරුවන්ට සහය වන පරාදීසයන්ය :

කෙසේ වෙතත් සියල්ලටම වැඩි වශයෙන් , මෙවැනි බදු වංචා සඳහා අවශ්‍ය සහය දෙනු ලබන්නේ එංගලන්තයේ ලන්ඩන්  නගරයයි .

 

ඒ අනුව නීති විරෝධී ක්‍රම මගින් දිළිඳු රටවලින් වැඩි පුරම  මුදල් සොරා කන්නේද  , එම රටවලට වැඩි වශයෙන් මූල්‍යාධාර , ණය පහසුකම් ලබාදීමට ඉදිරිපත්වන රටවල් විසින්ම බව පැහැදිලිය . එය ජී එෆ් අයි වාර්තාව අනාවරණය කරන බරපතලම කරුණයි .

ජී එෆ් අයි වාර්තාව හරහා අවසානයේදී  පැහැදිලි වන ප්‍රධානතම හා වැදගත්ම කරුණ වන්නේ , දිළිඳු රටවලට ආධාර ලබාදීම සම්බන්ධව ධනවත් රටවල් හා එම රටවල මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මාධ්‍ය මවා ඇති “චිත්‍රය” , ගොතා ඇති” කතාව” ,රැවටිලිසහගත වන බවය .

ලොව පුරා සම්පත් බෙදී යාමට අදාලව විශාල අක්‍රමිකතා රැසක් සිදුවේ . ධනවත් රටවල් තම ආධාර බෙදාදීමේ ක්‍රියාවලිය හරහා උත්සාහ කරන්නේ මෙම අක්‍රමිකතාවය පිලිබඳ කරුණු ලොවෙන් වසන්කිරීමටය . එනම්  “ආධාර ලබාදීම” යන තිරයට මුවාවී මෙම ධනවත් රටවල් නිරන්තරයෙන්ම  සිදුකර ඇත්තේ  දිළිඳු රටවලින් මුදල් සොරාකෑමය . 

ශ්‍රී ලංකාවද අයත් මෙම සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රටවලට සැබවින්ම අවශ්‍යවන්නේ මෙවැනි ” පුණ්‍යාධාර ” නොවේ . .. එම රටවලට අවශ්‍යවන්නේ  යුක්තියයි  . යුක්තිය ඉටු කිරීම අපහසු නැත. දුප්පත් රටවල අතිරික්ත ණය කපා හැරීමටත්, පැරණි ණය සඳහා පොලී ගෙවීම් වෙනුවට සංවර්ධනය සඳහා එම  මුදල් යෙදවීමට  නිදහස ලබාදිමත් මේ මොහොතේ ඉතා වැදගත්ය  , ඒ සඳහා ජාත්‍යන්තරය තුල කතිකාවක් මතුවිය යුතය , ධනවත් රටවල් වෙත ඒ සඳහා බලකිරීමක් , බලපෑමක් එල්ලවිය යුතුය .

එම දුප්පත් රටවලින්  නීතිවිරෝධී ලෙස මූල්‍ය සම්පත්  පිටතට ගෙනයාම සඳහා  පහසුකම් සපයන බැංකුකරුවන්ට සහ ගණකාධිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල හැක . එම රටවල මුදල් ලොව පුරා රහසිගතව හා නීතිවිරෝධීව ගලායාම පාලනය කිරීම සඳහා  විධිමත් බදු පැනවීමක් සිදුකල හැක

කෙසේ වෙතත් මෙවැනි පියවරයන් වෙත යාමේදී , ලොව පුරා දැනට ක්‍රියාත්මක වන මෙම වංචා සහගත පද්ධතිය හරහා වාසි හා ප්‍රතිලාභ
ලබන අතිශය බලවත් බැංකු , ආයතන සමාගම් හා සංස්ථාවන්ට එරෙහිව යාමට සිදුවනු ඇත

ගැටලුව විසඳන්නේ කෙසේදැයි අප හොඳින්ම  දනිමු. නමුත්  ප්‍රශ්නය වන්නේ ඒ සඳහා  අපට ධෛර්යයක් තිබේද යන්නයි .

පැතුම් වික්‍රමරත්න 

[email protected] 

(The Guardian වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් ඇසුරෙනි )

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment