BREAKING NEWSවිශේෂාංග

Share now!

ආචාර්ය එම්. පී. ධනපාල, ආචාර්ය ඩී. එස්. ද ඉසෙඩ් අබේසිරිවර්ධන
(බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්)

 

මෑත භාගයේ සිට ප්‍රසිද්ධ මාධ්‍ය වැඩසටහන් තුලින් ලංකාවේ වී ප්‍රභේද ගැන ජනතාවට අදහස් ප්‍රකාශ කරන සම්පත්දායකයින්ට වැඩි දියුණු කළ වී ප්‍රභේදයන් පිළිබඳව විවේචනාත්මක කරුණු ගෙන හැර පෑමට ඇත්තේ පුදුම උනන්දුවක් බව පෙනෙන්නට ඇත. ජාන වෙනස් කිරීම ග්ලයිසෙමික් දර්ශකය, ප්‍රෝටීන් අන්තර්ගතය පිසීමට හා අනුභවයට හිතකර ගුණාත්මක ගතිගුණ පෝෂණය හා ඖෂධීය වටිනාකම වැනි භූතයන් රැසක් එළියට ගන්නා ඔවුන් ලාංකික සහල් ප්‍රභේදයන් ඒවා හා පටලවමින් තර්ක ඉදිරිපත් කරන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් මොවුන් කෘෂිකර්මය ගැඹුරට හැදෑරූ පුද්ගලයින් නොවන නිසාත් ඇතැමුන්ට ඉතාමත් ප්‍රාථමික අභ්‍යාසයක් වන ‘වල් වී’ වැනි කැලෑ දර්ශකයක් ‘වගා වී’ වලින් වෙන් කර හදුනා ගැනීම පවා බරපතල ගැටලුවක් බව පෙනෙන්නට ඇති නිසාත් මෙම දැනුම් හිඩැස පිරවීමට කාගේ හෝ ඉදිරිපත් වීම හදිසි අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ.

විද්‍යාත්මක ලිපි වෙනුවෙන්ම වෙන් වූ එක්තරා පුවත්පතකට මෙවන් විද්වතෙක් විසින් පසුගියදා සම්ප්‍රදායික වී ප්‍රභේදයන් ගැන වර්ණනාත්මක ලිපියක් එකතු කර තිබුණේ කිසිදු විද්‍යාත්මක හෝ පර්යේෂණාත්මක සාක්ෂියක සේයාවක්වත් සඳහන් නොකරමිනි. කුරුලුතුඩ නමින් වූ පැරැණි වී ප්‍රභේදය ඔසවා තැබීමට හෙතෙම අරුම පුදුම ගති ලක්ෂණ පෙන්වා දී තිබිණි. එම බතෙහි ඇති රති ප්‍රබෝධක හැකියාව, සුලභව තිබෙන අත්‍යවශ්‍ය මේද අම්ල, ප්‍රෝටීන, විටමින්, මැග්නීසියම් වැනි ඛනිජ ගැන ලියා තිබුණේ ප්‍රමාණ කරණයක් ගැන සඳහනක්වත් නොකරමිනි. මීට අමතරව කුරුලු තුඩෙන් පිසිනා බත හරහා සිදුවන රුධිරගත කොලස්ට්‍රෝල් යාමනය ගැන ද පෙන්වා දී තිබීම සිත කාවදින සුළු ය. නමුත් මෙතැනදී අපට කිසියම් පැහැදිලි කර ගැනීමක් කර ගත යුතුව තිබේ. එම ලිපියේ කරුණු වලට අනුව කුරුළුතුඩ යනු රතු සහල් ප්‍රභේදයකි. මාස තුන හමාර වයස් කාණ්ඩයට අයිතිය. එවන් කෙටිකාලීන වර්ගයක් නම් එය යල මහ දෙකන්නයේ ම වගා කළ හැකි වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 1948 තරම් ඈතක දී ප්‍රසිද්ධ කර ඇති තෝරාගත් පාරිශුද්ධ වී ප්‍රභේද නාමාවලියේ කුරුළුතුඩ හඳුන්වා දී ඇත්තේ සුදු සහලක් ලෙසයි. එසේම එය මාස පහක් හයක් අතර කාලයක වයසක් ගත වෙන ප්‍රභාසංවේදී වී වර්ගයක් බවටද සඳහනක් තිබේ. මේ නිසාම එතන නිර්දේශය වී ඇත්තේ කුරුළුතුඩ සුදුසු වන්නේ මහ කන්නයට පමණක් වගා කිරීමට ය. මහාචාර්ය එම් එෆ් චන්ද්‍රරත්න විසින් ලියා පලකර ඇති ‘වී අභිජනනය’ (rice breeding) නැමැති ග්‍රන්ථයේ ද කුරුළුතුඩ හඳුන්වන්නේ ප්‍රභා සංවේදී වී වර්ගයක් ලෙසය. එසේ නම් අප කුමක් කළ යුතු ද? මෙම පරස්පර විස්තරයක් දෙකම එක වී ප්‍රභේදයක් හා ගළපා පිළිතුරක් ගන්නට දඟලනවා ද? නැතහොත් විස්තර දෙකට අදාළව වී ප්‍රභේද දෙකක් ඇතැයි පිළිගන්නවාද?

ඔය අතරවාරයේදී ඕස්ට්‍රේලියාව, ජපානය, චීනය ආදී රටවල සිදු වූ ආකාරයේ සහල අස්වැන්නේ විප්ලවයක් මෙරට දියත් වූ අභිජනන වැඩසටහන් තුළින් රටට හිමි වී නැතැයි කියමින් විවේචන එල්ල කිරීම මෑතක සිට තවත් මෝස්තරයක් බවට පත්වී තිබෙන බවද කිව යුතුය. එම රටවල් සහ අප අතර තාක්ෂණික පරතරයක් ඇති බැව් පැවසුව ද ඒ බව මෙහිදී විවේචකයන් විසින් හිතාමතාම සගවා තබන බව පෙනේ. ඔවුන් තමන්ට අයිති වෘත්තීමය සීමා මායිම් පවා අත්තනෝමතික ලෙස තරණය කරමින් සහල් අභිජනන ක්ෂේත්‍රය මැද්දට පැන උත්සාහ දරන්නේ එහි සිටින අපව සමාජ අපවාදයට ලක් කිරීමටයි.

චීනයේ බහුතර වී වගාව මේ වන විට විශාල වශයෙන් පදනම් වී ඇත්තේ දෙමුහුම් වී ප්‍රභේද මතය. එහිදී ඔවුන් දෙමුහුම් දිරිය හරහා ලැබෙන අස්වනු පිම්මේ වාසිය බොහෝ පහසුවෙන් නෙළාගන්නේ ය. එය අපට වඩා පියවර කීපයක් ඉදිරියෙන් පවතින අවස්ථාවකි. මන්දයත් මේ වන විටත් අප පර්යේෂණ කරමින් සිටින්නේ දෙමුහුම් වී නිපදවීමට අවශ්‍ය මාපිය ප්‍රභේදයන් හා බීජ නිෂ්පාදන ක්‍රියාවලියෙන් හඳුනාගැනීමේ ක්‍රියාදාමයක බැවිනි. ජපානය හා ඔස්ට්‍රේලියාව නම් අප සේ ම ගතානුගතික අභිජනන වැඩසටහන් හරහා තමා විසින්ම නිපදවා ගන්නා ලද වී ප්‍රභේදයන් වගා කරමින් සිටී. මේ නිසා පහත විස්තරයෙන් අනාවරණය කරනු ලබන්නේ ජෛව තාක්ෂණික හෝ වෙනත් කිසියම් ක්‍රමවේදයක් හරහා හෝ අස්වැන්නේ පිම්මක් පනින්නට ඝර්ම කලාපික පරිසරයක් තුළ දී මතුවෙන සීමා මායිම් පිළිබඳවය. එය තේරුම් ගැනීමේ ඥාණය විවේචකයින් සතුව තිබේ නම් එය රටේ වාසනාව බවද කිවයුතු වේ.

ඕනෑම භෝග ප්‍රභේදයක ක්‍රියාකාරිත්වය පදනම් වන්නේ එහි ප්‍රවේණික ඝටනාව පාරිසරික සාධක සමඟ ප්‍රතික්‍රියාව මත බව මේ වන විට පිළිගත් විද්‍යාත්මක සත්‍යයකි. ගොයම ද හැසිරෙනු ඇත්තේ මෙම ධර්මතාවයට අනුකූලවයි. බෝගයේ පරිසරය සමන්විත වන්නේ ජීවී (රෝග හා පළිබෝධ) සහ අජීවී (පස හා දේශගුණය) සංඝටකයන්ගෙනි. යමෙක් දේශීය වී ගොවිතැන විවේචනාත්මකව හාරා අවුස්සන්නට පෙර මෙම සංසිද්ධිය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලබා තිබිය යුතුවේ.

අප දිවයින ස්ථානගත වී ඇත්තේ ලෝකයේ උතුරු අර්ධ ගෝලයට අයත් ඝර්ම කලාපික තීරුව තුල අක්ෂාංශ 5° 55′ සහ 9° 49′ අතරය. ඕස්ට්‍රේලියාව, ජපානය හා චීනය පිහිටන්නේ වි වගාව සඳහා ආශිර්වාද කෙරෙන මට්ටමකින් පාංශු හා දේශගුණික තත්ත්වයන් පවතින සමශීතෝෂ්ණ කලාපයේය. මාතෘ පාෂාණයේ ස්වභාවය හා පසු ගොඩනැගීමේ කාර්යාවලිය කුමක් වුවත් ශ්‍රී ලංකාව වනාහි දැඩි මෝසම් වර්ෂාපතනයක් ලබමින් නිතර සෝදා පාලූවට හසුවෙන පසක් සහිත ගොඩබිමක් වේ. එනිසාම පසෙන් පෝෂණ ද්‍රව්‍ය හායනය වීමේ වේගය වැඩිය. මීට අමතරව අඛණ්ඩව කෙරෙන යල මහ දෙකන්නයේ වී වගාව නිසා කුඹුරු වල පස පුරන් තත්වයේ පවතින්නේ නම් එය ද ඉතා කෙටි කාලයකට පමණි. මේ නිසාම පස ගොඩනැගීමට ලැබෙන අවස්ථා ද අල්ප ය. ඝර්ම කලාපික රටකට ආවේණික අධික පරිසර උෂ්ණත්වය හමුවේ පාංශු ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ද උපරිම තත්ත්වයක පවතින නිසා පසෙහි අන්තර්ගත කාබනික සංරචකයන් ද වැඩි වේගයකින් නැසී යයි. මේ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ පසෙහි භෞතික, රසායනික හා ජෛව ගති ගුණ යන ත්‍රිත්වය ම වේගයෙන් වෙනස් වීමයි. කැටායන හුවමාරු ධාරිතාව ට මෙම විපර්යාසයන් සෘජුවම බලපාන්නේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඝර්ම කලාපික ගොවියාට විශේෂයෙන් ලාංකික වගා කරුවන්ට තම භූමියෙන් උසස් නිෂ්පාදනයක් නෙළා ගන්නට නම් නිරන්තරයෙන්ම කාබනික අකාබනික යන පොහොර ද්විත්වයම පස හා මිශ්‍ර කරමින් කැටායන හුවමාරු ධාරිතාව ප්‍රශස්ත තත්ත්වයෙන් පවත්වා ගැනීමට සිදුවේ.

කෙසේ වෙතත් සමශීතෝෂ්ණ කලාපික රටවල නම් පස මීට වඩා සාරවත්ය. එහි පවතින අඩු උෂ්ණත්වය නිසාම ශුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය මන්දගාමී වී පාංශු කාබනික ද්‍රව්‍ය සංයුතියත් අයන හුවමාරු ධාරිතාව ඉහළ මට්ටමක පැවතීම මීට හේතුවයි. මෙය තවත් ශක්තිමත් කිරීම අරඹයා ජපානයේ ඇතැම් කුඹුරු වල මතුපිට පසට යටින් දිවෙන ජල අපවහන නල පද්ධතියක් මගින් පාංශු ඵලදායිතාව ඉහළ නැංවීමට පවා කටයුතු කර තිබේ. ඕස්ට්‍රේලියාවේ කුඹුරු පස නම් ස්වභාවිකවම සාරවත්ය. ඇතැම් විට ඒවාට පොස්පරස් හා පොටෑසියම් වැනි පෝෂකයන් බාහිරයෙන් දැමීමට පවා අවශ්‍ය නොවේ. එසේම දැඩි නිරෝධායන නීතිරීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බොහොමයක් රෝග හා පළිබෝධකයින් ගෙන් එම භූමිය නිදහස් ය. යම් තරමකින් හෝ තිබෙන රෝග හා පලිබෝධ තත්වයන් වූවත් ශීත කාලය හමුවේ සිදුවන ජීවන චක්‍ර බිඳවැටීම නිසා හෝ වගාව නොමැති විට පළිබෝධක පැවැත්ම සඳහා විකල්ප ධාරකයින් නොමැතිකම නිසා හෝ ස්වභාවිකවම සමනය වී යයි. එම නිසා මෙම කලාප දෙකෙහි දී අස්වැන්න පිළිබඳ සාධාරණ සංසන්දනයකදී මෙම කරුණු ගැන අවධානය යොමු කිරීම සරලව බැහැර කළ නොහැකිය.

මෙම කලාප දෙකෙහි බෝග නිෂ්පාදනයට බලපාන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ සූර්යාලෝකය පතිත වෙන කාල පරාසයයි. තම නිෂ්පාදනයේ යම් කොටසක් තම දිවිපැවැත්ම උදෙසා භාවිතා කළ පසු ලැබෙන ඉතිරිය ශාක තුල අස්වැන්න ලෙස ගබඩා කෙරෙන්නේය. ශ්වසනය හරහා නිෂ්පාදිත ද්‍රව්‍යයන්හි යම් හානියක් සිදු වුවත් නූතන වී ප්‍රභේද යන්ට ලබාදී ඇති පදුරේ හැඩරුව අනුව ඒවාහි ප්‍රභාසංස්ලේෂණ කාර්යක්ෂමතාවය ඉහළ ය.

අප නිරන්තරයෙන් ම සෑම වසරක් පාසාම කෙටි හා දිගු දිවාකාලය පවතින කාල පරාසයන් පසුකර යන්නෙමු. ජුනි 21 වෙනදාට යෙදෙන උතුරු අර්ධගෝලයේ දිගින් වැඩිම දහවලක් සහිත දිනය දකුණු භාගයේ කෙටිම දහවලක් සහිත දිනය වෙයි. ඒ ආකාරයෙන්ම උතුරු අර්ධගෝලයේ කෙටිම දහවල් කාලයක් සහිත දින වන දෙසැම්බර් 21 දකුණු අර්ධගෝලයට දිගින් වැඩිම දහවලක් ලබාදෙයි. විවිධ කලාපයන් තුළ දී බෝග විසින් පෙන්වන ඵලදායිතාව සංසන්දනය කිරීමේදී මතුපිටින් සරලව පෙනෙන මෙවැනි කරුණු වුව ද සැළකිල්ලට ගතයුතු වේ.

ඊනියා වැඩි අස්වනු විභවයක් ඇතැයි සැලකෙන බොහොමයක් රටවල් අවුරුද්දකට එක කන්නයක් පමණක් වී වගා කරන රටවල් වේ. වගා කන්නය තීරණය වන්නේ පරිසර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වී දිවා කාලයේ දිග පැය 13 ක ට පමණ පත් වූ විට ය. දවස් කාලයේ දිගෙහි උච්චතම අවස්ථාව වන පැය 16ක දිවා කාළයක් එළඹෙද්දී ගොයමක් පූදින තත්ත්වයට පැමිණ සිටින්නේ ය. එපමණක් නොව, කරල් පැසී අස්වැන්න සූදානම් කරන්නටත් මාස හතරකට වැඩි කාලයක් ගොයමට උවමනා වේ. මෙරට දුප්පත් ගොවියාට ඇත්තේ මෙවන් පරිසර තත්ත්වයක් ද? ඔහුගේ ප්‍රධාන නිෂ්පාදන වකවානුව වන මහ කන්නයේ කුඹුරු වපුරන ඔක්තෝබරයේ සිට ගොයම් කපා ගන්නා පෙබරවාරි දක්වා ම සවස් කාලයේ දිග පැය දොළහකට අඩුය. වැඩිපුර කුඹුරු කොටන්නේ නැති යල කන්නයේදී පවා යන්තම් පැය 12 පසු කෙරෙන දහවලක් තිබුනත් කිසිවිටෙකත් එය පැය 12 හමාර ඉක්මවන්නේ නැත. මීට අමතරව දෙකේදීම වගා කරන වී ප්‍රභේදයක් ද මාස හතරකට වඩා අඩු කෙටි වයස් කාණ්ඩයේ ඒවාවේ. සමශීතෝෂ්ණ හා ඝර්ම කලාපික අතර පවතින ප්‍රභා කාලයේ මෙම විෂමතාවයෙන් ශ්‍රී ලාංකික වී වගාව සදාකාලිකවම පීඩා විඳින බව විවේචකයින්ට අමතක වීම අවාසනාවකි. ගණනය කර ඇත්තේ මෙරට පාරිසරික තත්ත්වයන් යටතේ වුවද මාස 3.5 – 4.5 අතර දින වකවානුව තුළ ගොයමට අතිරේක එක දිනයක් හෝ වැඩිපුර ලබා දෙන්නේ නම් ඒ හරහා හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.05 ක නිෂ්පාදනයක් සංචිත කිරීමේ දෛනික හැකියාවක් ශාකය ඇති බවයි.

පාංශු පෝෂණය දහවලේ දිග බෝගයේ වයස වැනි ඉහත විස්තර කරන ලද සාධක හරහා ඝර්ම කලාපික තීරුවේ පිහිටන ශ්‍රී ලංකාවේ අස්වැන්නත් සමශීතෝෂ්ණ රටවල ලබන අස්වැන්නත් අතර දෘශ්‍යමාන විෂමතාවය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි සිතමු. ජපානයේ ඒව වන කොෂි හිකාරි (koshi-hikari) අකිතකොමාචි (Akithakomachi) වැනි ජැපොනිකා මාදිලියේ වී ප්‍රභේද කැල්රෝස් (Calrose) ඉන්ග්‍රා (ingra) (blue bonnet) (bluebell) වැනි ඕස්ට්‍රේලියානු වී ප්‍රභේදයක් හෝ වෙනයම් කුමන ඉහල විභවයක් ඇති තාක්ෂණික පැකේජයක් හෝ මෙරට පවතින කෘෂි පාරිසරික තත්ත්වයක් යටතේ අත්හදා බලා මෙහිදී ඒවායේ හැසිරීම කෙසේ සිදුවේද යන්න තේරුම් ගැනීමට කිසිදු විවේචකයකුට බාධාවක් නැත. එවිට ප්‍රභේදය හෝ තාක්ෂණය නොව බෝගය වැවෙන පරිසරයේ තිබෙන පාංශු හා දේශගුණික තත්ත්වය අස්වනු විෂමතාවයට ප්‍රධානතම හේතුව බව එම අත්හදා බැලීම් වල ප්‍රතිඵල තුළින් ඕනෑම කෙනෙකුට අවබෝධ වනු ඇත. දේශීය වී ප්‍රභේදයන්හි අස්වනු විභවය හෝ ජෛව තාක්ෂණය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ලාංකික විද්වතුන් ට ඇති නොහැකියාව හමුවේ අස්වැන්න අඩුවෙන් ලැබේ යැයි ඇතැමුන් විසින් දමා ගසන විවේචනද මුළුමනින්ම අනුකූල හා අවලංගු නිගමනයන් බවත් සමාජය විසින්ම මේ හරහා තේරුම් ගනු ඇත. තත්ත්වයේ සත්‍යය දකින්නට නම් සමශීතෝෂ්ණ කලාපයේ අස්වැන්න ගාවා නොගෙන ශ්‍රී ලංකාව පිහිටන ඝර්ම කලාපික තීරුවේ අනෙක් රටවල වී අස්වැන්න සමග අපගේ අස්වැන්න කිරා මැන බැලිය යුතුවේ. එසේම ජානයක් වෙනස් කරමින් හා හසුරවමින් කැරටින් වැනි වර්ණකයක් තිබෙන රන්වන් සහල් සෑදුවා සේ අස්වැන්නේ ක්ෂණික පිම්මක් පනින්නට සමත් වෙන හුදකලා ජානයක් ජෛව තාක්ෂණය හරහා හෝ මෙතෙක් සොයාගෙන නැත. වෙනත් බෝග වල සේම ගොයමේ අස්වැන්න ද තීරණය වන්නේ ප්‍රමාණාත්මක ජන එකතුවකිනි.

2020 වසරේ දී අප ලැබූ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.85 ක් බවද මෙහිදී අප මතක් කර දෙමු. ඇතැම් සතුටුදායක පාරිසරික තත්වයන් යටතේ හෙක්ටයාරයකට ටොන් දහයක් පමණ අස්වැන්නක් ද වාර්තා වී ඇත. මෙයින් නිරූපණය වන්නේ බෝග සතු සත්‍ය විභවයයි. මේ අනුව යම් ප්‍රභේදයක් මඟින් අඩු අස්වැන්නක් ප්‍රකාශ කරන්නේ නම් එයට හේතුවන්නේ ප්‍රවේණික ප්‍රකාශ වීම සමඟ පාරිසරික සාධක ප්‍රතික්‍රියා කිරීම බව අප පිළිගත යුතුය.

විද්‍යාඥයින් විසින් ගොයම් ගසේ ප්‍රභාසංස්ලේෂණ යාන්ත්‍රණය c-3 ක්‍රමවේදයේ සිට c-4 තත්ත්වය දක්වා වෙනස් කරන්නටත් විවිධ උත්සාහයන් දරා තිබේ. පත්‍ර සනාල කලාප වටා පිහිටන මෘදු ස්ථර කලාප කොපුව තුළට සෝගම් ශාකයේ තිබෙන්නාක් මෙන් හරිතලව රිංගවා ක්‍රාන්ස් ව්‍යුහය සේ හැඳින්වෙන ව්‍යුහාත්මක වෙනස ඇති කරන්නටත් විද්වතුන් උත්සාහ දරා ඇත්තේ ගොයම් සෝගම් අන්තරාභිජනනය පවා බලහත්කාරයෙන් කරවමිනි. මේ ආකාරයට ඇසොල්ලා නැමැති පර්ණාංගය තුළ තිබෙන ඇනබීනා නීලහරිත අල්ගාව හරහා වායුගෝලීය නයිට්‍රජන් තිර කර කුඹුරේ පසට දමන්නටත් සෙස්බේනියා වැනි රනිල කුලයේ ශාකයන්හි මූල ගැටිති වල වෙසෙන බැක්ටීරියා හරහා මෙය කරවන්නටත් විද්වතුන් කළ උත්සාහයන් පවා අසාර්ථක වී ගියේ එම ක්‍රමවේදයන් සඳහා යන වියදම අකාබනික නයිට්‍රජන් පසට යෙදීම යන වියදමට වඩා කීප ගුණයකින් ඉහළ ගිය බැවිනි. තවත් ඇතැමුන් ඝර්ම කලාපික පසෙහි සිටින අධික්‍රියාශීලී ශුද්‍ර ජීවී සංහතිය අමතක වීදෝ ක්‍රියාශීලී ක්ෂුද්‍රජීවීන් ඔසවා තබන්නට උත්සාහ දරනවා පෙනිණි. එපමණක් නොව ජාත්‍යන්තරයේ පවා දැන කියාගත් ශ්‍රී වගා ක්‍රමය නොහොත් ‘සහල් තීව්‍රකරණ පද්ධතිය’ වෙනුවෙන් වූ ව්‍යාපෘතියක් දශක දෙකකට පමණ ඉහත දී මෙරට තුළ ද ආරම්භ වූ නමුත් මේ වන විට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ එකදු ගොවියෙක් හෝ සොයා ගැනීමට වත් නැත. මේ ආකාරයේ උදාහරණ නම් රැසක් තිබේ. වී වගාව හා බැඳුණු නවෝත්පාදන තාක්ෂණය යථාර්ථය මෙයයි කුමක්ද උචිත වන්නේ සහ අනුචිත කුමක්දැයි යන්න අප හොඳාකාරවම දන්නෙමු. වත්මන් සහල් විද්වතුන් ඔවුන්ගේ අභිමත ඉලක්කයන් කරා සංසුන්ව කෙරෙනා ගමනට බාධා කරමින් යථාරූපී නොවන යෝජනා ඉදිරිපත් නොකරන්නැයි අපි ඉල්ලා සිටිමු.

ලාංකික විද්වතුන් සියවසකටත් මදකින් එහා ගිය සහල් පර්යේෂණ ඉතිහාසය තුළ දී ඇති තරම් සාර්ථක ඵල නෙළා ගෙන තිබේ. ගොවියාගේ අවශ්‍යතාවය කුමක්ද ඔවුන් ඒ සඳහා අනුගමනය කළ යුතු සුදුසුම තාක්ෂණය කුමක්ද වැනි දෑ ඔවුන් මැනවින් හඳුනන්නේ ය. එවන් අත්දැකීම් සමුදායක් පසුබිමෙන් තිබියදී නොගැලපෙන මිලෙන් අධික වැඩකට නැති තාක්ෂණික පැකේජයන් සමාජය හමුවේ අනාවරණය වන විට විද්වතුන් එයට අවනත නොවීම ස්වභාවිකය. තම තරුණ කාලයේ විදේශයන්හි නිල්ල නැගෙන තණ පලස් මත ගෙවා දැමූ ඇතැමුන් දේශීය අත්දැකීම් නොමැති ව නොමැතිව රටට ගැලපෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා දැනුනු අමිහිර තවමත් අපට අමතක නැත. (උදාහරණ දඹළ ව්‍යාපෘතිය)

යල මහ දෙකන්නය තුළ දිගු කාලීනව සිදුවන පාංශු මෙන්ම දේශගුණික වෙනස්වීම් තේරුම් ගැනීමේ හැකියාව හා ප්‍රවීණත්වය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබේ. කුමන වෙනසක් ඇති වුවද ඔවුන් එය කරට කර රටට සාධාරණය ඉටුකරනු ඇත. වසර නව සීයකටත් වඩා පැරණි යල සහ මහ කන්න තවමත් පෙර පරිදිමය. මෙරට ඇති ප්‍රධාන දේශගුණික සහ කෘෂි පාරිසරික කලාප සියල්ල විද්‍යාඥයින් විසින් මේ වනවිටත් අධිසංවේදී ව සිතියම් ගත කර ඇති අතර ඔවුන්ගේ අනුප්රාප්තිකයා අඛණ්ඩව ඒවා අධීක්ෂණය කරමින් කාලානුරූපීව සංශෝධනය කරමින් සිටී.

මෙරට වි වගාවේ හරිත විප්ලවය සිදුව ඇත්තේ 1960 න් පසුව බව දැන්වීමට කැමැත්තෙමු. බී ජී 11 -11 නැමැති ප්‍රභේදයෙන් 60 දශකයේ දී පටන්ගෙන තවමත් අඛණ්ඩව ඉදිරියට ඇදෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහල් වැඩිදියුණු කිරීමේ වැඩසටහන ගැන ඇතැම් විවේචකයන් සතුව ඇති නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම ගැන අපි අතිශයින් කණගාටු වන්නෙමු. දේශීය විද්වතුන් විසින් සීමිත මූලික ප්‍රතිපාදන හා සීමාකාරී තාක්ෂණික පහසුකම් හමුවේ වුවත් අත්පත් කරගත හැකි උපරිමය රටට ලබා දී තිබේ. ජාතියේ ආහාර අවශ්‍යතාවය ඒ හරහා සපුරා තිබීම සම්බන්ධයෙන් අපට ඇත්තේ මහත් අභිමානයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment