විශේෂාංග

Share now!

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු

ඇතැම් මිනිසුන් මුවෙන් නැඟෙනා සිනහව ඉතා දැකුම්කළු වන අතර එය ඉතා ලෙන්ගතු බව අපට හැඟියාමෙන් ඔවුන් සමඟ අපි ඉක්මනින් එකතු වේ.එවන් මා ප්‍රිය කරන සුන්දර සිනහවක් ඇති එක්තරා මිනිසෙකු මට ගිය අගෝස්තුවේ එහෙ මෙහෙ යන අතරතුර හමුවිය.නමින් දමිත් විලේගොඩ ය.ඒ ඔහුගේ මුල් ම කෘතිය වන “එහෙ මෙහෙ යන අතර” කාව්‍ය සංග්‍රහය ජනගත කල දා ය.”මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු ය” කීව ද එය දේශපාලනයට පමණක් ම කොටු කර නොහැකිය.මගේ සුන්දර මිත්‍ර කවියා වෘත්තියෙන් ගොවියෙකි.අද මා ඔබ වෙනුවෙන් අකුරු කෙරුවේ මේ හිතුවක්කාර කවියාගේ කතන්දරය යි.

“වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වුණත් අතරින් පතර ලැබෙන ඉඩෙන් මම සාහිත්‍ය කටයුතුවලටත් මම යොමුවෙනවා.උසස් පෙලෙන් පස්සේ පොඩි පොඩි රස්සා කරනවා.ඒවා අසාර්ථක වෙනවා.රස්සාවක් නැතිව ගෙදර ඉන්න කාලයේ මට සෙට් වෙනවා ජනකලා කේන්ද්‍රයේ ජනසංගීතය ඉගෙන ගන්න සහන් රන්වල මහත්තයා එක්කලා.ඔය කාලේ අපේ තාත්තාට හමුවෙනවා පත්තරේ තිබිලා හමුවෙනවා ටවර් හෝල් රඟහලේ පුර්ණ කාලීන නාට්‍ය ඩිප්ලෝමාවක් ගැන දැන්විමක්.පස්සේ මං ඒතනට ගිහින් අවුරුදු දෙකක් ඉගෙනගන්නවා .එතැනින් මං විවෘත විශ්ව විද්‍යලයට තෙරේනවා.එක මං හිටපුගමන් අතරමඟ නතර කරනවා”

ලාංකීය බහුතරයක් දෙමව්පියන්ගේ එක ම සිහිනය වන්නේ දරුවන්ට හැකිතරම් උසස් අධ්‍යාපනයක් ලබා දී ඉහල වැටුපක් ලබාගත හැකි වෘත්තියවේදියෙකු කිරිම ය.නමුත් දෙමව්පියන් තම දරුවා ගුරුවරයෙකු වන සිහිනය දමිත් මදකට නතර කර තමන්ගේ පාරක් තනාගන්නේ අතිශය කටුක අන්දමිනි.

නාට්‍ය කලාව ඉගෙනිමට මරදානට සංක්‍රමණය වන දමිත්ට ඇසුරු කිරිමට ලැබෙන්නේ ලංකාවේ සතර දික් භාගයෙන් පැමිණි මිතුරන් රොත්තකි.ස්ත්‍රි / පුරුෂ භේදයකින් තොරව බජව් නටන්නට ඔවුන් එකතුවෙන්නේ එක ම බෝඩිමකට ය. කෙතරම් වස්ත,භෝග,ධනය උපයා ගත්ත ද අපට අන්තිමට ඉතිරි වෙන්නේ මිහිරි ජීවිත ස්මරණයන් පමණි. මේ බෝඩිමේ සිටි අයියලා කිහිප දෙනෙක් පොළොන්නරුවේ කුසුම්පොකුණේ ඉඩමක වගා කටයුතු කිරිමට සතිඅන්තයේ අගනුවරින් බැහැර වන්නට පුරුද්දක් කරගෙන සිටියෝ ය. මේ කල්ලියට දමිත් ඇතුල්වන මොහොතේදි අනාගතයේ ඔහුගේ ජීවිතයේ දිශානතිය වෙනස් වේ යැයි සිහිනකින්වත් නොසිතන්නට ඇත.

“අපි කුසුම්පොකුණේ ගොයම්,බඩඉරිඟු තමා වගා කෙරුවේ. ඒ ගමනින් පස්සේ මට වැඩකිරිමේ මානසිකත්වයක් ඉබේම හැදුණා. මම තනියම සිකුරාදා හවස බස් එකේ නැගලා රෑ වෙද්දි පොළොන්නරුවට යනවා. ඒ උපයාගත්ත මුදල් වේලාවකට යාළුවන්ට පොත් ගහන්න දුන්නා. තව කොළඹ අපි survive වෙන්න යෙදෙව්වා. අවුරුදු විස්ස පනින කොට අපිට දෙමව්පියන්ගේ මුදලින් කාලා,බිලා ජිවිතේ ගෙවාදාන්න හිතෙන්නේ නෑ. මේ ඉඩමේ එක පැත්තකින් යනවා තිඹිරි ඇල,අනෙක් පැත්තෙන් ගලනවා කවුඩුල්ල ඔය. හරියට දුපතක් වගේ තැනක තමා අපි වගා කෙරුවේ. අපි හවසට කවුඩුල්ල ඔයේ දැල් දාලා මාළු අල්ලනවා. මාළු ගෙනල්ලා ලුණු දාලා වාඩියේ එල්ලනවා.මේ දේවල් එක්ක පොළොවේ පැලවෙන්න ඕන විදිහ අපිට තේරෙන්න පටන් ගන්නවා.

චාරිකාවකදි පසුකරගෙන යන පරිසරයේ ගැන මතක සිත්තම් බොහෝ කලකට පසුවද අප සිත් ගැඹුරේ අවපැහැ නොවි පවති. ඒ සිතුවම් දෙස විවේකෙන් බලන කල තමන් ආ දුර ගැන අපේ මුවගේ නිරායාසයෙන් මඳහසක් නැඟේ., දෑස දිලිසේ. මරදානෙන් වනාතමුල්ලට සංක්‍රමණය වුවත් දමිත් සහ මිතුරන්ගේ ජිවන ලාලසාවන්වල කිසිදු වෙනස්විමක් සිදු නොවේ. ඔවුනට බෝඩිම් ගාස්තු ගෙවන්නට මුදල් නැතිවෙද්දි කෝච්චියට නැඟි සිංදු කිවෝය. ඔවුනගේ එක ම අරමුණ වුයේ මේ මොහොත තුල ජීවත් විමයි. වනාතමුල්ලේදි ඔහුට හමුවන්නේ වෙනස් ම චරිත කිහිපයකි. අලුතෙන් පදිංචියට පැමිණ රෑ මැදියම තෙක් පිස්සු කෙලින මේ කොල්ලෝ රෑන ගැන අසල්වාසියෝ සොයා බැලුහ. පාරේ යනගමන් ඔවුනගේ නිවසට එබිකම් කලෝ ය. ජනෙල් කවුළුදොරින් හොරින් බැලුහ. ඒ මිනිසුන් අතර විවිධ වර්ගයේ “අයියලා”ද වුහ. නමුත් ටික දවසකින් ම “මල්ලි ළඟකදි පාටියක් තිබ්බේ නෑනේ?” දැයි අසන්නට තරම් ඔවුහු ළෙන්ගතු වුහ. එසේම ඒ තරුණ දරුවන්ගේ ජිවින ලාලසාවන්ට අඹ මල් රේණුවක් තරම්වත් බාධා නොකිරිමට ඔවුහු වග බලාගත්තෝ ය.

මේ මොහොතේදි අප දෙදෙනා ඉන්නේ විශ්ව විද්‍යාල භූමියට තරමක් ඉහලට වන්නට ඇති ගල් තලාවක ය. ගල් තලාවට ම සෙවන ගෙනෙනා බෝ ගස යට අප ඉදිරියේ තිබෙනා පුංචි කෑලෑ රොදට උදා හිරු එළිය වැටෙන’යුරු නිහඬව බලාගෙන සිටියෙමු.නැවත දමිත් කතාව පටන් ගත්තේ ය.
“අපිට ආයෙමත් හම්බ වෙනවා දෙල්කඳ පැත්තේ හතු ෆාම් එකක්. අපේ අයියා කෙනෙක් ලක්ෂ 10ක් සම්පුර්ණයෙන් ම දාලා ඒ වගාව ම ගත්තා. අපි පාන්දර හතරට නැගිටලා අදාල වැඩ ටික කරන්න පටන්ගන්නවා. අපිට තිබ්බා පරණ බයිසිකලයක්. අපි ලයිසන් තියෙන කෙනෙක් කඩවලට යනවා හතු ටික දාන්න. සමහර යාළුවෝ ඉඩමට ඇවිල්ලා චිත්‍ර අදිනවා. music කරන එවුන් ගීටාර් අරන් එනවා.”
ලංකාවේ නාට්‍ය රසිකයෙකුගෙන් “ඔබ නාට්‍යක් නැරඹිමට කෑමති ම රංග ශාලා තුන කුමක්දැයි” ඇසුවහොත් ඉන් එක පිළිතුරක් බොරැල්ල පුංචි තියටරය වෙනුවෙන් ඉතිරිවෙනු ඇත. ඒම භූමිය කලාවට සංහිඳයක් ය. ශාලාවේ අඬ අඳුර තුලින් ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹිමට බොහෝ රසිකයන් ලොල් ය. දමිත්ට පුංචි තියටරේ රැකියාව ලැබෙන්නේ ද ඔහුගේ පෙර වසනාවකට ය. නාමෙල් සර් සහ මාලිනි මැඩම්ගේ දයාව,කරුණාව මැද ඔහු සාහිත්‍යට අත තබන්නේ මේ භූමියේ ය. මිනිසෙකුගේ ජිවිතය අධ්‍යාත්මය දියුණු කිරිමට සාහිත්‍යයෙන් ලැබෙන පිටුවහල අති මහත් ය. විවිධ සම්පාලයේ මිතුරන්ගේ මතකෙන් හැඩ වු දමිත්ගේ කතන්දරය තුල ගැඹුර නොපෙනෙන ආගධයන් ද නැතුවා ම නොවේ. බොහෝ ලස්සන කඳු යායන් තුල නොපෙනෙන අඳුරු පතුල් බොහෝමයකි. දිලිර රෝගයන් දමිත්ලාගේ හතු වගාව සම්පුර්ණයෙන් විනාශ වෙන්නේ නැවත ඔහුව දෛවය විසින් කටුඅකුලකට විසි කරමිනි.ඔහු ම නොදන්නා හේතුවක් නිසා ආදරණීය නාමෙල්,මාලිනි යුවලගේ සිත් රිදවා පුංචි තියටරෙන් ඔහු පිටවෙයි. නමුත් දමිත් තම සිහිනයෙන් පිට පැන්නේ නැත.
පුංචි තියටරෙන් එලියට ගොස් කොට්ටාව ප්‍රදේශයේ කෘෂිකාර්මික වැඩපලක ඔහු රැකියාවක නිරත වේ. රාජකාරිය නම් එළවලු ඇට පැකට් කිරිම ය. පැකට් කිරිම පමණක් නොව ප්‍රවාහනය ද භාර වෙන්නේ දමිත් ඇතුළු මිතුරන්ට ය. සමාගම සතු ලොරි දෙකක් තිබුණු අතර බඩු පටවා මාසේ මුල් ම දිනයේ දමිත් එක් ලොරියකින් පිට වේ. මේ ගමන ගැන දමිත් විස්තර කරන විට මට මතක් වුයේ චේ ගුවේරා ය. ඔහුගේ මිතුරා සමඟ දකුණු ඇමරිකාවේ චිලි,පේරු යන රටවල් හරහා බයිසිකලයකින් විර චාරිකාවක් ගියේ ය. මාසේ මුල පිටවන මේ ලොරිය ගම්නියම්ගම්වලින් එළවලු පටවාගෙන නැවත කොට්ටාවට ළඟාවෙන්නේ මාසේ අන්තිමට ය.
එක්තරා මොහොතක දි අප කරන වැඩකටයුතුවල ප්‍රමාණාත්මකභාවය පිළබදව යම් සැකයක් නැගේ. මිනිසා නිතර ම උත්සහ කරන්නේ තැබු පියවරට වඩා තබන පියවර වඩා දිප්තිමත් කරගන්නට ය. හිතුවක්කාර කවියාගේ වෘතාන්තයේ ඒ නොතිත් ආශාවේ දියබුබුළු විටින් විට පැනනඟි. ඔහු කොබෙයිගනෙන් ගස්ලබු කොළඹට ගෙන්නේ ඒ නිසා ය. නමුත් මේ ආශාව නිසා ම ඔහු සියල්ලන්ගෙන් වෙන්ව තනිව නැගිසිටිමට කටයුතු කරයි.
“මං දවසක් එලවලු ඇට පටවගෙන ලොරියෙන් බණ්ඩාරවෙල ගියා. මං ආයේ ආවේ බණ්ඩාරවෙලින් එළවලු පටවගෙන. නැවත කම්පැනිය අඩාල වේ ගෙන යද්දි මේ ලොරි දෙක ආපහු දෙන්න වුණා. නමුත් බ‍ණ්ඩාරවෙලින් කොළඹට එළවලු ගෙන එක මගේ ඇඟට වැදෙන්න පටන් ගත්තා .පස්සේ මං පොළොන්නරුවෙන් ලක්ෂ 10කට ලොරියක් හොයාගන්නවා. හැබැයි ලොරිය ගත්තට පස්සේ මං හිතපු සුන්දර ලෝකය නෑ කියලා මට වැටහෙනවා. මොකද කලින් බිස්නස් එක කරද්දි විශාල පිරිසක් හිටියාට ,මං දැන් මේක කරන්නේ තනියම. මට කෙලින් ම බිස්නස් එකක් කරන්න සල්ලි නෑ. මං කරන්නේ බණ්ඩාරවෙල යාළුවෙක්ගේ ගෙදර නැවතිලා,කෝල් එකක් ආවා ම ලොරිය අරගෙන ගිහිල්ලා බඩු ටික පටවගෙන එයාලා කියන තැනට ගිහින් දාන එක. මුදලාලි මට හයර් එක දෙනවා., මං මුදලාලි වෙනුවෙන් දුවනවා. පස්සේ මං ලොරිය අරගෙන දඹුල්ලේ ගියා. දඹුල්ල ගියා කියලත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ. වාහනේ ටයර් ටික දාගන්නවත් සල්ලි ඉතිරි වෙන්නේ නැහැ.ගෙදරින් එන පීඩනය,වාහනේ ෆිනැන්ස්වලින් එන පීඩනය දරාගන්න බැරිව මං ලොරිය විකුණනවා. ආපහු බණ්ඩාරවෙල ඉදන් මං බස් එකේ කොළඹට එන්නේ කිසිදෙයක් නැතුව.”
කිසිදෙයක් නැතුව එන අතරමඟකදි ඔහුට නානාදුනන අංකයකින් ඇමතුමක් පැමිණේ.
ඒ එනගමනේදි මට කෝල් එකක් එනවා මාලිනි මැඩම්ගෙන්.මාලිනි මැඩම් අහනවා “මොකද කරන්නේ?” කියලා.මං කියනවා “මේ හැමදේම අතහැරදාලා කොළඹ එන ගමන්” කියලා.”එහෙනන් ආපහු මෙහේ එන්න” කියලා මැඩම් කිව්වා.
දෙවෙනි වතාවටත් නාමෙල්,මාලිනි යුවල මේ දරුවාව ආදරයෙන් පිළිගණි. වගාවට පමණක් නොව රඟපෑමට ද, නාට්‍ය රචනයට ද දමිත් ප්‍රතිභාවක් තිබුණි. “ආදරණීය දුන්ශෙයින්” නාට්‍යකලාව සම්බන්ධයෙන් ඔහුට තිබෙන හැකියාවට දෙස් දෙයි. පුංචි තියටරේ පැවරි ඇති වැඩකටයුතුවලට අමතරව වෙනත් යුතුකම් යයි ඔහු සලකන බොහෝ දෑ අනුන් වෙනුවෙන් කෙරුවේ ය. අලෝකකරණයේ සිට තේ හැඳිම තෙක් සිය‍ළු ම කුඩාඅනුකුඩා රාජකාරින් ඔහු ඉටුකිරිය. අගනුවර කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පුංචි තියටරේ පැවැත්වු “නිර්මාණ කියවිමේ සන්ධ්‍යාව” ආරම්භ කිරිමට දමිත් ද කර දුන්නේය. කලාව සම්බන්ධයේ එහිදි සිදු වු සංවාද – විසංවාද ඔහුගේ සාහිත්‍ය‍ දැනුමේ නිම්වළලු පුළුල් කිරිමට සමත්වුණි. නමුත් බුත්තල ප්‍රදේශයේ තල්වලින් අලි වැටක් ගැසිමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් කාලය වෙන් කිරිමට ඔහු නැවතත් පුංචි තියටරෙන් වෙන්වෙයි. දෙමව්පියන් තමන්ගේ දුටු ගුරු සිහිනයට තිත තැබිමට ද සිදුවන්නේ මේ කටයුතු හරහට තිබිමෙන් ‘ටිචින් පැට්රිස්’ යාමට බැරි වු නිසා ය.
සියලු දේ අහම්බ ලෙස සලකන දමිත් “ප්‍රේමය” ඉන් ලොකුම අහම්බය ලෙස විශ්වාස කරයි. ජිවිතයට අමතක නොවුණ සිද්ධිය කුමක් දැයි ඇසු කල ඔහු මදක් කල්පනා කර පිළිතුරු දුන්නේ “කසාදය” ලෙසයි. නමුත් මේ අහම්බය ඔහුගේ කවියට සදාකාලික ප්‍රිතිය ගෙනඒමට සමත්විණි.
“මේ හැම අලකලංචි මැද තමා මගේ සහාකාරියත් මට හමුවෙන්නේ.එයාගේ ගෙවල් තිබුණෙත් බණ්ඩාරවෙල මං ලොරිය නවත්තපු පන්සලට ටිකක් එහාට වෙන්න.නමුත් මට එයාත් එක්‍ක කතා කරන්න ලැබෙන්නේ facebook එකෙන්.මං ලියපු කවියක් දැකලා එයා පණිවිඩයක් දාලා තිබ්බා “දේශපාලනික කවියා ආදරෙන් පිළිගනිමි” කියලා.අපේ දෙවෙනි වතාවට හමුවෙන්නේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටිය බලන්න.සති කිහිපයකට පස්සේ මම විවාහ යෝජනාව කරනවා.කසාද බදින එක ගැන එච්චර බරක්පතලක් මට තේරුණේ නෑ.අපි හතර වෙනි දවසේ එකතුවුණේ පෝරුවේදි”
මේ ආදරණීය කවියා තම බිරිඳගේ සහයෝගයෙන් ඔහුගේ මාර්ගය දිගේ නැවත ඉදිරියට යන්නට පටන්ගනි.වෙහෙසකර රැකියාවක් සිදුකල ද සොඳුරු සිනහවෙන් ඔහුගේ ආත්ම තෘප්තිය මනාව පැහැදිලි කරයි.
“විශාඛාලාට තිබිලා තියෙනවා ලොරියක්.එකත් ෆීනැන්ස් ඇරියස් වෙලා වෙන කෙනෙක්ට විකුණලා ඒ මනුස්සයා ෆිනැන්ස් ගෙවලා නෑ.ඊට පස්සේ ඒ ලොරිය කසාදෙට තිබිච්ච සල්ලිවලින් මං ගන්නවා.පස්සේ මං ආයේ එළවලු අදින්න ගත්තා ලොරියෙන්.පුවක්,පොල්,බුලත්,එළවලු හයර් කරලා මං සමාන්‍ය මට්ටමකට ආවා.මගේ බිරිඳ විශාඛාගේ මවගේ ඉඩමකයි,තව බදු දිලා ගත්ත ඉඩමකුත් අරගෙන වගා කරනවා.මෑත කාලිනව තියෙන බලාපොරොත්තුව ඒ ඉඩම් සංවර්ධනය කරගන්න එක තමා.අපි දෙන්නා තීරණය කරලා තියෙන්නේ වගාව කවදාවත් අතහරින්නේ නෑ කියලා.මං දන්නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා.තාම මං ඉගෙනගන්නවා.මේ මහපොලොවේ හැසිරෙන එක ඉගෙනගන ඉවර කරන්න බැරි දෙයක්.අපි කොච්චර ගොවිරාළලා කිව්වත් පොලොව අදුනගන්න එක ලේසි වැඩක් නෙමෙයි.”
කපිල එම්.ගමගේගේ සහ හෂිත අබේගුණවර්ධනගේ යුගාසන දෙසුමකින් අලංකාර වුණු දමිත් අයියාගේ “එහෙ මෙහෙ යන අතර” කාව්‍ය සංග්‍රහය එලිදැක්විමේ උත්සවය මා සහභාගි වු අපුරුත ම පොත් එළිදැක්විමක් විය.එළිදැක්විම මෙන් ම පොතේ ඇතුලත් කවි ද මා හට ලබාදුන්නේ අපුරු චමත්කාරකයකි.ගිය වසරේ ඌව පළාත් සහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පද්‍ය රචනාව සම්මානය හිමිවුයේ දමිත් විලේගොඩට ය.
“විවාහ ජිවිතයෙන් පස්සේ මට යම්කිසි නිදහසක් ලැබුණා.මගේ බිරිඳ සාහිත්‍යට ලැදි කෙනෙක්.එය හින්දායි මගේ පලවෙනි පොත පවා එලියට ආවේ.එයා තමා මේ හැමදේම පිටිපස්සේ හිටියේ.’එහෙ මෙහෙ යන අතර’ නිර්මාණය වුනෙත් දවස් ගානක් ඇතුලත.මේ මොහොතේ ආසාවක් තියෙනවා කෙටිකතා සංග්‍රහයක් කරන්න.එක කවදා එයිද දන්නේ නෑ.වේලාව ආවා ම එලියට දානවා.
කවියෙක් නම් හුදු කල්පනා ලොවක අතරමං නොවුවෙකු විය යුතු ය.ගහට,කොළට,සතුනට,සමාජයට පෙම් බදින්නෙකු විය යුතු ය. ඒ ගැඹුරු ප්‍රේමය තුලින් ඔහුගේ සාර්ථකම කවිය බිහිවෙනු ඇත.එහෙ මෙහෙ යන අතර පුංචි තියටරේ මට හමු වු ඒ සොඳුරු කවියේ රස මේ මොහොතේදිත් අත්විඳිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment