BREAKING NEWS

Share now!

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

ලෝක උරුමයක් වන සිංහරාජය වටකරගෙන තිබෙන පරිවාර වනාත්තර හරියට රැජිණක් වටකරගෙන ඉන්න සෙබල මුළු වගේ. බුළුතොට කඳුපන්තිය ඉළුඹකන්ද, දෙනියාය කඳු වලල්ල මේ සෙබල මුළු අතර සිටන පතාක යෝධයින් සබරගමු පළාත එම පළාතටම ආවේණික පරිසර පද්ධතීන් රාශියකින් සමන්විතයි. තරුණ උප පොලිස් පරීක්ෂකයෙකු විදියට වසර 04 ට ආසන්න කාලයක් ස්වභාව සෞන්දර්යයෙන් අනුන කලවාන සහ කොලොන්න ප්‍රදේශ වල සේවය කිරීමේ වරම මට ලැබුණා. විශේෂයෙන් කොලොන්න පරිසර මාතාවගේ ආශිර්වාදය නොඅඩුවද ලද ප්‍රදේශයන් මාගේ කොලොන්න සේවා කාලය දකුණේ කැරළිකරුවන්ගේ සාහසික ක්‍රියා මැද ගෙවී ගියත් ඒ ප්‍රචණ්ඩත්වය මැදින් ස්වභාව ධර්මයේ අසිරිය විඳ ගැනීමට නම් මම අමතක කලේ නෑ.

රක්වාන නගරයෙන් ආරම්භ වන රක්වාන දෙණියාය පාරේ ස්ප්‍රින්වුඩ් වතුයාය මැදින් ගමන් කොට එලඹෙන්නේ බුළුතොට දූර්ගයට ( Bulutota Pass) ලෙස ප්‍රකට වංගු 10 ට හවස තුන හතර වෙද්දි මේ ප්‍රදේශය තුනි මිහිඳුම් සලුවකින් වැසි යනවා. ඒ කාලයේ ස්ප්‍රින්වුඩ් වතු යායේ වතු අධිකාරි (superintendent) ලෙස සේවය කලේ මගේ හිතවතෙක්ය. ස්ප්‍රින්වුඩ් බංගලාවට පස්සේ වංගු 10 පසු කරගෙන සුරිය කන්ද කඩ මුදුන ප්‍රදේශයට යනකම් මිනිස් පුලුටක්වත් නෑ. මේ වංගු 10 යේ 05 වන වංගුවේ නිතරම අපට හමුවන අමුත්තෙක් සිටියා. ඒ දවස් වල මේ අමුත්තා බලන්න මහ රෑ අපි වංගු 10 ට යනවා. අමුත්තා තමයි සිංහරාජයට අරක්ගෙන ඉන්න කොටි රංචුවේ එකෙක්. මේ අමුත්තා හැමදාම රෑට 05 වංගුවේ පාර මැද හොඳට දිගෑදිලා නිදාගෙන ඉන්නවා. ඒ කාලයේ රාත්‍රි කාලයට මේ පාරේ වාහන ගමන් ගන්නේ නැති තරම්. ගියා නම් ඒ ආමි හාරි පොලිස් හරි වාහනයක්. වාහන පහන් එලිය ඇස් කන වැටෙන කොටියා ටික වේලාවක් අපි දිහා බලාගෙන ඉඳලා හොඳට ඇගමැලි කඩලා දිගෑදිලා වාහනයට යන්න පාර ඉඩ දෙන්නේ අපි දිහා නොරිස්සුම් බැල්මකුත් හෙලමිනි. සුරිය කන්ද මුදුනේ පුංචි කඩ මණ්ඩියක් තිබෙනවා. මේ කඩ මංඩියේ තිබුණු සිරිසේන උන්නැහැගේ තේ කඩේ අපේ එක් නැවතුම්පලක්. සීතල යන්න උණු කෝපි කෝප්පයක් එක්ක කිතුල් හකුරු කෑල්ලක් සිරිසේන අයියගේ කඩේ වැරදුනේම නෑ. සූරිය කන්දේ ඉඳලා දෙණියායට යනකම් පාර දෙපැත්තේ තියෙන්නේ නිල්ල වැදුණ තේ වතු යායයි. උපාලි විජේවර්ධන මහත්තයාගේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් සමාගමට අයත් ලංකාබේරිය වත්තත් දෙණියාය මායිමේ තිබේන හේයස් වත්තත් මේ ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන වතු යායවල්ය.

ජෛව විවිධත්වය ගැන සලකද්දි සූරිය කන්ද සහ ඇඹිලිපිටිය කොලොන්න මාර්ගයේ පිහිටි කෑල්ල ප්‍රදේශයන් අතර පවතින්නේ දිගු දේශගුණික පරාසයක් මේ තැන් දෙක අතර දුර කිලෝ මිටර් 03 ට වැඩියේ නෑ. හැබැයි ඒ කිලෝ මීටර් 03 යන්න වෙන්නේ දණහිස නිකට වදින ආකාරයේ කන්දක් නැගලා. සූරිය කන්ද ප්‍රදේශයේ සීතල දේශගුණය තුල වැවෙන බෝංචි, කැරට්, ලීක්ස් සහ නෝකෝල් වගේ එලවලු අරගෙන එහේ ගැමියෝ මේ කන්ඳ බැහැලා කෑල්ලට ඇවිත් ඒ එළවළු විකුණලා ඇඹිලිපිටිය ඌෂ්ණ කලාපයට අයත් කෑල්ල, ජදුර ප්‍රදේශයේ වැවෙන වට්ටක්කා, පිපිඤ්ඤා, බටු වගේ එළවලු මිලදී ගෙන අර කන්ඳ ආයේත් නගිනවා. මම දන්න විදියට ඉතාම කෙටිම දුරකින් දේශගුණික පරාසයේ වෙනසක් ඇති කරන ලංකාවේ ප්‍රධාන තැනක් තමයි මේ ප්‍රදේශය. මීට අමතරව වැල්ලවාය, කොස්ලන්ද මාර්ගයත් ඇල්ල වැල්ලවාය මාර්ගයේදීත් මේ වෙනස අත්වින්දින්න පුළුවන්.

රක්වානේ ඉඳලා කලවානට යන මාර්ගය වැටී තිබින්නේ සිංහරාජ වනයට සමාන්තරවය. මේ ප්‍රදේශයේ යුරෝපීය ජාතිකයින් තේ වගාව සඳහා භාවිතා කල Deep Deen තැන්න ඉතා ප්‍රනීත තේ දළු නිපදවන ප්‍ර දේශයන් මේ ප්‍රදේශයේ පරිසර පද්ධතියේ අරක්ගෙන ඉන්නවා අමුත්තෝ 03 දෙනෙක් නැත්නම් 04 දෙනෙක්. ඒ තමයි සිංහරාජයට ආවේණිකයැයි සැලකෙන කුඩා සිරුරකින් යුත් අලි. මේ රංචුවේ ඒ කාලයේ 03 දෙනෙක් නැත්නම් 04 දෙනෙක් සිටියා.හැබැයි මේ අය සාමාන්‍ය වන අලින්ට වඩා ටිකක් සැරයි. වාහන කිහිපයකටම පහරදුන් අවස්ථා ගැමියන් කිහිපදෙනෙකු ජීවිතක්‍ෂයට පත්කල අවස්ථා ඒ කාලයේ වාර්තා වුනා. අවසානයේ වනජීවි දෙපාර්තමේන්තු තීරණය කලා මේ අලි කිහිප දෙනා ප්‍ර දේශයෙන් ඉවත් කරන්න. ඒ සඳහා සුවිශේෂි ක්‍රියාන්විතයකුත් ආරම්භ කලා. වනජීවි නිලධාරීන් එක් අලියෙකු බොහෝම අමාරුවෙන් නිර්වින්දනය කර අල්ලා ගත්තා. ඒත් අන්තිමට සිද්ධවුනේ කව්රුත් නොසිතු දෙයක්. මිනිසුන්ට කොතරම් කරදර කලත් තම ප්‍රදේශය අනසකට පත්කරගෙන ඉන්න අලි ඉවත් කරන්නට ප්‍ර දේශයේ ජනතාව කැමති වුනේ නෑ. මේ අරගලයේ මුල්පෙලේ සිටියේ ඒ ප්‍රදේශයේ පාසල් දරු දැරියන් ඔවුන් අලියා ඉවත් කරනවාට දැවැන්ත විරෝධතාවයන් පැවැත්වුවා. අවසානයේ මහජනතාවගේ කැමැත්තට හිස නමා නිර්වින්දනය කල අලියා නැවත ඌගේ නිජබිම වු සිංහරාජයටම මුදා හරින්නට වනජීවි නිලධාරීන්ට සිද්ධවුනා. “ස්වභාදහම සහ මිනිසා අතර පවතින සබඳතාව කෙතරම් බලවත්ද ? ”

මේ වගේම සබඳතාවයක් ගැන සිංහරාජය සම්බන්ධව “ The forest of Lion King ” නමින් වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කල හංගේරියානු ජාතික සිනමාකරුවෙකු වු වර්නර් ෆෙඩ් සිය වාර්තා චිත්‍රපටියෙන් කථා කරනවා. කිතුල් මල් කැපීම සිංහරාජ අවට ප්‍ර දේශයේ ප්‍රසිද්ධ වෘත්තියක් කිතුල් තෙලිජ්ජ වලින් හොඳම හකුරු හැදෙන්නේ මේ ප්‍රදේශයේ ඒ අතරින් ටිකක් තෙලිජ්ජ සඳහාත් භාවිතා කරනවා. කිතුල් රා එකතු කරන මුට්ටියට හොරෙන්ම ඇතුල් වන කුරුල්ලෙක් තමයි පැණි කුරුල්ලා. මිනිසුන් වගේම මල්පැණි වලට ලොල් වු සමහර කුරුල්ලන් මල් පැණි වැඩියෙන් බීලා වෙරිවුණාම රා මුට්ටියටම වැටෙනවා. කිතුල් මදින්නා රා මුට්ටියත් එක්ක මේ කුරුල්ලව ගෙදරට අරන් එනවා එතන ඉඳලා කුරුල්ලගේ භාරකාරත්වය පැවරෙන්නේ කිතුල් මදින්නගේ පුංචි පුතාට. කුඩා දරුවා කුරුල්ලව ප්‍ර වේශමෙන් මුට්ටියෙන් අරගෙන සීතල වතුරෙන් ඌගේ පිහාටු හොඳලා ඇඟපුරා තැවරිලා තියන මල් පැණි බෝහෝම ප්‍රවේශමෙන් අයින් කරනවා. ඊට පස්සේ සාලුවකින් කුරුල්ලව හොඳට පිහදාලා බට පතුරුවලින් තනපු කුඩා කූඩුවක එයාව වේලෙනකම් රඳවලා තියනවා. දවසකට පස්සේ යථා තත්ත්වයකට පත්වන පුංචි පැණි කුරුල්ලා කිතුල් මදින්නාගේ පුංචි පුතාගේ දෑත් වලින් මිදි නිදහස් ලෝකයට ආයෙත් පියාසර කරනවා. මෙම සිද්ධිය අවසානයේ පසුබිම් කථනයෙන් වර්නර් ෆෙඩ් අපෙන් විමසනවා ස්වභාව දහම සහ මිනිසා අතර පවතින සබැඳියාව ගැන කතාකරන්න මේ සිද්ධිය හැර වෙනත් උපමා ඕනෑද කියලා.?

කොලොන්න කෝරළය ප්‍රභාවත් කල මඩුවන්වල දිසාව ගැන, මඩුවන් වල වලව්ව ගැන වගේම පනාමුරේ ඇත්ගාල ගැන ලඟදීම ලියන්නම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment