BREAKING NEWSEXPRESS RESEARCHවිශේෂාංග

Share now!

මේ දිනවල රටේ පවතින තත්වය සහ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් සාකච්චා ඇතිවෙද්දී ඒ පිළිබඳව ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන අනුරුද්ධ විජේරත්න සිය ෆේස් බුක් පිටුව තුල තැබූ සටහනක් විශාල ලෙස සමාජ මාධ්‍ය හරහා අවධානය ලබා ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ලාත්‍රොබ් විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය සහ අලෙවිකරණ පිළිබඳව උපාධිය හදාරා ඇති ඒ මහතා මෙල්බර්න් ඩීකින් විශ්ව විද්‍යාලයෙන් දේශපාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව පශ්චාත් උපාධියත්, අලෙවිකරණය පිළිබඳව උසස් ඩිප්ලෝමාවත් ලබාගෙන තිබෙනවා.

Media; Give us a break!

2019 අප්‍රේල් පාස්කු ඉරිදා බෝම්බ පුපුරපු තැන ඉඳල අද දක්වා වසර දෙකකට වඩා ලංකාවේ මිනිස්සු යමින් ඉන්නේ එසේ මෙසේ මානසික රෝල කොස්ටරයක නෙමෙයි. පුදුමාකාර ත්‍රාස්තජනක එකක. ලංකාවේ මාධ්‍යට අනුව නම් මේ ගමන කොහෙන් කෙලවර වන එකක් දැයි කියන්නටවත් නොහැකි තරමට අවුල් එකක්.

 

2019 අග හරියේ ඉඳන් පටන් ගත්ත කොවිඩ් 19 සෞඛ්‍ය අර්බුධය අද වනවිට ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික, ආරක්ෂක ආදී ජනතාවගේ එදිනෙදා ජීවිතයටත් අනාගතයටත් ඇතිකරල තියෙන බලපෑම මහා විශාල එකක් කියල අපි කව්රුත් දන්නවා. මේ සියල්ලම හරහා ජනතාව කෙරෙහි පෞද්ගලිකවත් පොදුවේ සමාජයක් ලෙසත් දැවැන්ත මානසික සෞඛ්‍ය පීඩනය අද නොසලකා හැරිය නොහැකි මට්ටමට ලෝකයේම පත්වෙලා.

 

ලංකාවේ මේ වෙනකොට කොවිඩ් රෝගය වැළඳී මිය යාමට ඇති හැකියාව 1% කට වඩා අඩු වෙද්දී එම රෝගය වැළඳී මිය නොයා සිටීමේ සම්භාවිතාවය 99%. ඒ කියන්නේ අද මේ දක්වා කිසිම එන්නතකින් වත් නොලැබෙන ආරක්ෂාවක් මේ ලෙඩේ හැදුනත් බේරෙන්න තියෙනවා. ඒකෙන් කිසිවිකටත් කියන්නේ නැහැ සියල්ල සැහැල්ලුවට අරන් කිසිම පුරවැසි වගකීමක් දරන්නේ නැතිව තමනුත් තමන්ගේ සහෝදර ජනතාවත් අනතුරේ හෙලන තැනට මේ ලෙඩේ සැහැල්ලුවට ගන්න කියල. නමුත් අද ලෝකයේ සහ විශේෂයෙන්ම ලංකාවේ මාධ්‍ය විසින් මිනිසුන්ගේ මානසික ආතතිය වැඩිකරල සියලු බලාපොරොත්තු කඩ වෙන තැනට, අපේක්ෂාභංගත්වය වැඩෙන තැනට පත්කරලා, අවසානයේ දිවි නසාගන්න තැනට පවා වැඩ සැලසෙන fear-based campaigns වලට අහුවෙලා මුලා වෙන්න එපා කියලයි මේ කියන්නේ. බුද්ධිමත්ව හිතල කටයුතුකරගෙන මේ අමාරු කාලයේ තමනුත් තමන්ගේ අවට අයත් මානසිකව නොවැටී රැක ගන්න කියලයි මේ කියන්න හදන්නේ.

 

දැන් අවුරුදු එකහමාරකට විතර ආසන්න කාලයක් පවුලේ ළදරු, ළමා, වැඩිහිටි, මහලු හැම දෙනාම සීමිත ඉඩකඩක කොටුවෙලා අනාගතය පිළිබඳව ඇති දැඩි අවිනිශ්චිතභාවයක වෙලිලා ගෙවන මේ ජීවිතය හැම වයස මට්ටමකම හැම කෙනෙකුටම ඉතාම අසහනකාරී අමාරු එකක්. ආර්ථිකය, රැකියාව, අධ්‍යාපනය, ඒව එක්ක බැඳුන අනාගත බලාපොරොත්තු මේ ඔක්කොම තියෙන්නේ පුදුම විදිහට පැටලිලා. දරුවන්ට පාසල් යන්න, ක්‍රීඩාවක නිරතවෙන්න, දෙමාපියන්ට හරිහමන් විදහට රැකියාවක්, ව්‍යාපාරයක් කරන්න, ආරක්ෂිතව දරුවෙකුගේ උපතක් බලපොරොත්තුවෙන්න, විවාහවෙන්න, දහසක් බලාපොරොත්තු තියාගෙන මංගල උත්සවය ගන්න, හෝ විදේශ උසස් අධ්‍යාපනයක් ලබන්න, වෘත්තීය අධ්‍යාපනය හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉවර කරලා රැකියාවක් ගන්න, තමන්ගේ ලෙඩකට හරි හමන් ප්‍රතිකාරයක් ගන්න, කොටින්ම අල්ලපු ගෙදර ඉන්න අම්ම තාත්තා බලන්න යන්නවත් තියෙන අවස්ථාවල් සියල්ල අහිමි වෙලා ඉන්න වෙලාවක් මේ. ලංකාවේ ජනගහනය මිලියන 22 ක් වෙද්දී ආසන්න වශයෙන් එයින් 10% ක් විතර ඉන්නේ පිටරට එක්කෝ රස්සාවල් කරන්න ගිහින්. නැත්නම් ඒ රටවල දීර්ඝකාලිනව ජීවත් වෙනවා. ඒ අයටත් ලංකාවට එන්න යන්න දකින්නත් බැරිවෙලා තියෙන මොහොතක් මේ.

 

එහෙම ආතතිය වැඩිවෙද්දී ලංකාවේ මාධ්‍ය කරමින් ඉන්නේ මිනිසුන්ගේ මානසික තත්වය වර්ධනය කරනවා වෙනුවට තත්වය තවත් ව්‍යාකුල කරලා බය වැඩිකරලා මේ ලෙඩේට මුහුණ දෙන්න අත්‍යවශ්‍යම immunity එකත් නැති කරන එක. තියෙන ප්‍රධාන ප්‍රශ්නය වවාගෙන කමින් තවත් අතුරු ප්‍රශ්න වලින් ඔලුව අවුල් කරවන එක.

 

හවස හයට විතර ප්‍රවෘත්ති පටන් ගත්ත තැන ඉඳන් කොරෝනා විස්තරේ පටන් ගත්තම ප්‍රවෘත්ති ඇතුලේ වෙන ගන්න දෙයක් නැහැ. දැන් අවුරුදු එක හමාරක් විතර ඇහෙන්නෙම එක වට්ටෝරුව. නිව්ස් ඉවරවෙනකොට කොරෝනා හැදිලා, මැරිලා, මැරුණට පස්සේ භූමදානයද ආදහනයේද ඉඳන් ඔක්කොම ප්‍රශ්න ටික ගේනවා. කොරෝනා හැදිලා සනීප උනත් ඉන්න දෙන්නේ නැහැ. ඕකෙන් සනීප උනාට ඉන්දියාවේ කළු පුල්ලි රෝගේ එනවා, ඇමරිකාවේ දිව දික්වීමේ රෝගයක් හැදිලා, ඔන්න දැන් සුදු පුල්ලි රෝගේ, හැදිලා සනීප වෙලා ඉන්න අයට මානසික රෝග හැදෙනව, ඇස් පෙන්නේ නැතිව යනව, දකුණු අප්‍රිකාවේ – ඉන්දියාවේ – එංගලන්තයේ අර ප්‍රබේදේ, මේක එක්ක තරඟෙට වගේ විචාරකයෝ – වෘත්තීය සංගම් පෝලිමේ එනවා. ඒවට ම සෙට් වෙච්ච මරු විශේෂඥයෝ ටිකකුත් ගේනවා. වැක්සින් එකෙන් හරි ගොඩයන්න හිත හදාගන්නකොට ඔය එන්නත් ගත්තත් වැඩක් නැහැ, ඒක නමෙයි මේක හොඳ. අලුත් එකට ඔය මොකත් වැඩකරන්නේ නැහැ දැන් බලන්න සීෂේලස් ඔක්කොටම ගහල ඒත් ඔන්න අයෙත් ඇවිත් අරක මේක කියනකොට ආයේ මිනිස්සු මානසිකව වැටෙනවා.

 

ඒවා ටික බලල අනෙක් ප්‍රවෘත්ති එක්ක දැන් ඉතින් ගොඩබිමත් ඉවරයි, මුහුදත් ඉවරයි, අම්ල වැසි එක්ක අහසත් ඉවරයි, ආර්ථිකයත් ඉවරයි, කෑම ටිකත් ඉවරයි, ලුණුත් නැතෝ අරකයි මේකයි කියලා අඬවැඩියාව පෙන්නන හැටි දැක්කහම ඉතිං අපි ඉවරයි කොරෝනා හැදිලා මැරෙන එක සැපයි මේ බියකරු අනාගතය දකිනවට වඩා කියන සිතුවිල්ලකට වැඩිය යමක් නාවොත් තමයි පුදුමේ!

 

ඒ අස්සේ ආණ්ඩුවත් ගන්න ඕනේ ඔක්කොම බරපතල structural and policy changes ටික මේ ලෝකයේ ලොකුම සෞඛ්‍ය – ආර්ථික – සමාජ අර්බුධයේ අස්සේම කරන්න ගිහින් මොකක්වත් හරියට කරගන්න අමාරු වෙනවා. පහුගිය අවුරුදු පහක් ආණ්ඩු කරලා මේ වගේ කිසි අර්බුදයක් නොතිබුණ කාලෙත් ඇෆ්ගනිස්ථානයටත් පල්ලෙහා ආර්ථියක් හදපු කට්ටිය ඉන්න කට්ටියට ආර්ථිකය හදන හැටි අරක මේක කියල දෙනවා. ජීවිතේට ආණ්ඩු නොකරපු කට්ටියක් පර්ෆෙක්ට් ආණ්ඩුවක් හදන හැටි උපදෙස් දෙන විදිහ දකිනකොට මිනිස්සු ආයේ කොර වෙනවා. ඔය ඔක්කොම අතරතුරේ නිව්ස් එක අස්සේ අදාල චැනල් එකේ පොලිටිකල් ලයින් එකට හෝ අයිතිකාරයාගේ කැමැත්තට අනුව එඩිට් කරලා, ආණ්ඩුවෙයි විපක්ෂයෙයි, සිවිල් සංවිධාන සහ විශේෂඥයෝ කියන අයයි කියවන විකාර කතා ටිකත් අහනකොට මිනිස්සු හොල්මන් වෙලා යනවා. බැරි වෙලාවත් චැනල් දෙකක එහෙම නිව්ස් බැලුවොත් රටවල් දෙකක වගේ.

 

ඊළඟට හැම චැනල් එකකම හත හමාර – නවය හමාර ටෙලිනාට්‍ය බෙල්ට් එක එනවා. ඒ නාට්‍ය ටික මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නම දෙගුණ තෙගුණ කරලා ආයේ බලෙන් පොවනවා. නැත්නම් අලුතෙන් පවුල් ඇතුලේ ප්‍රශ්න හදනවා. පවුල් අවුල්, ආර්ථික ප්‍රශ්න, කුල මල, හදි හූනියම්, අනියම් සම්බන්දතා, ගහමරා ගැනීම් මේ පැය දෙකේ නොසෑහෙන්න ඔලුවලට දෙනවා. ලංකාවේ ප්‍රශ්න මදිනම් ඉන්දියාවේ, කොරියාවේ හරි තුර්කියේ මෙයිට වඩා දරුණු ඒවා import කරලා හඬ කවලම පොවනවා. දැන් රෑ දහයයි. ඔන්න ආයේ ප්‍රවෘත්ති. හයට – හතට ගිය ඒ නිව්ස් ටිකම ආයේ රිපීට් එකක් යනවා. ඒක ඉවර වෙච්ච් ගමන් අර ඉස්සෙල්ලා විස්තර කරපු පක්ෂ – දේශපාලකයෝ තනි තනිව හරි තොග වශයෙන් හරි ගෙනල්ල ආයේ පැය දෙක තුනක් කෙටවිල්ලක් යනව. නිවේදකයෝ දෙන්න තුන්දෙනා තරඟෙට ඇඟට පැනල ප්‍රශ්න අහන – අන්තිමට අහපු දෙකකුත් නැති කියපු දේකුත් නැති මෙලෝ වැඩක් නැති විකාරයක් බලල නින්දට ගිහාම ආයේ හීනෙනුත් පේන්නේ

 

ඒ විකාරම හින්ද අඩුම තරමින් හරියට නින්දක් වත් නැහැ.

ඔන්න ආයේ උදේ ඇහැරිච්ච තැන ඉඳන් පත්තර කියවීම පටන් ගන්නවා. ඊයේ අහපු දැකපු පිළුණු වෙච්ච නිව්ස් ටිකම ආයේ රිපීට් වෙනවා. ඒක යනවා පැය දෙකක් විතර. ඒ කියන්නේ වැඩට ගිහින් හරි – ඉගෙන ගන්න ගිහින් හරි ගෙදර එන තැන ඉඳලා ආයේ වැඩට යනකම්ම එකම දේ බොහෝ විට නෙගටිව් දේ තුන් හතර පාරක් රිපීට් වෙනවා පැය දොළහක් විතර ඇතුලත. ආයේ ඉතින් වැඩට ගිහින් උනත් ඔය අහුලගත්ත ටිකම තමයි කතාව. ගෙදර ඉන්න කට්ටියට කේන්දර, ලස්සන වෙන හැටි කියල දීලා, දහ පාරක් විතර බලපු සිංහල චිත්‍රපටි ටිකයි තමිල්නාඩු දෙමල ෆිල්ම් ටිකයි ගිහින්, පැයෙන් පැය එකම නිව්ස් ටික ගිහාම ඔන්න නොදැනිම ආයේ හවස නිව්ස්. එතන ඉඳල ආයේ මුල විදිහටම දුවනවා.

 

බැරිවෙලාවත් කාට හරි mainstream media එපා වෙලා social media ගියොත් යන කෙනාට අබ සරණයි! Youtube channel ටික හදාගෙන කීයක් හරි හොයන්න එන සෙට් එක එන්නේ තරඟෙට මිනිස්සු බය කරන්න. බය කරල දාන caption වල සයිස් එකට තමයි views එන්නේ. ඒ ගානට තමයි අතට ගාණ එන්නේ. ඒවා මත යැපෙන FB pages ටිකයි, ගොසිප් sites ටිකයි, ඉතුරු ටික අදිනවා. FB, wattsapp, viber හරහා ෆුල් ටයිම් ඉන්න, ඕනේ එකක් හොයන්නේ බලන්නේ නැතිව share කරන්න සැදී පැහැදී ඉන්න සෙට් එකයි ගාණට සෙට් උනහම fake News, misinformation & disinformation වසංගතයේ සමාජ ව්‍යාප්තියේ උපරිමයට එනවා. මේවා ටෙස්ට් කරන්නත්, ට්‍රේස් කරන්නත් බැරි තරමට flood වෙලා අන්තිමට treat කරන්න බැරි තැනටම වැටෙනවා.

 

හැබැයි මේ යන විදිහ ගැන මෙහෙම ලිව්වට මේක විහිළු කතාවක් නෙමෙයි. කොවිඩ් එක්ක ලෝකයම මුහුණ දෙන විශාලතම අර්බුධය වෙන්නේ කොවිඩ් මරණ හෝ ආර්ථිකය බිඳවැටීම නෙමෙයි, කාටත් නොතේරී මිනිස්සු හිත ඇතුලේ මෝරන ආතතිය සහ අපේක්ෂාභංගත්වය. අන්න ඒකට වැඩෙන්න ඉඩ නොදී, සුභවාදී බලාපොරොත්තුවක් දල්වන්න පුළුවන් නම්, ඔබ අවට ඉන්න අයගේ මානසික සෞඛ්‍ය වැඩෙන විදිහට වචනයකින් හරි අපි කාටත් දායක වෙන්න පුළුවන් නම්, ඒක තමයි මේ මොහොතේ මනුෂ්‍යත්වයේ වගකීම. මේ අර්බුධයෙන් ගොඩ එනකම් ඔබත් ආරක්ෂා වෙලා, ඔබේ පවුල, හිත මිතුරන් ආදී මුන් ගැහෙන හැම කෙනෙකුටම මානසික සහනය ගෙන දෙන කුමන හෝ දෙයකට සහාය වෙන එක අතිශය වැදගත් කියල පුංචි අදහසක් දෙන්නයි මේක ලිව්වේ.

ලෝකය මෙතෙක් මුහුණ දුන් කිසිම අර්බුධයක් හමුවේ ආපස්සට ගිහින් නැහැ. සිදුවෙලා තියෙන්නේ වඩාත් සක්‍රීයව සහ සංවිධානාත්මක ලෙස ඉදිරියට යෑමක් පමණයි. මම දන්න එක උදාහරණයකින් කතාව නවත්තන්නම්. දන්න කියන කෙනෙක් ගේ පරණ ගෙයක් සහිත පර්චර්ස් 12 ක විතර ඉඩමක් තිබුනා ගාල්ලේ කොටුව ඇතුලේ. යුද්දේ උපරිමයට යන කාලේ – කොළඹටත් කොටි ගුවන් යානා ඇවිත් ගහන 2008 විතර එයාගේ දැඩි විශ්වාසයක් තිබුනා මේ යුද්දේ කවදාවත් ඉවරවෙන එකක් නෙමෙයි, හමුදාව ආයේ පරදී දැන්නම් ඉතින් ඔක්කොම ඉවරයි වගේ නෙගටිව් එකක්. අන්තිමට ඔස්ට්‍රේලියාවට යන්න PR එක හදාගෙන අර ගෙදර 2008 මුලදී විකුණුවා රුපියල් මිලියන 35ට. ඒ ගෙදර ගත්ත කෙනා 2012 දී, අවුරුදු හතරකට පස්සේ, මිලියන 180ට විදේශිකයෙකුට විකුණුවා කියල ආරංචි උනහම තමයි තේරුනේ එදා හදිස්සියේ බයවෙලා ගත්ත අනුවණ තීරණේ තරම. ඔස්ට්‍රේලියාවේ පහසුවෙන් ඒ මුදල එක්ක රිටයර් වෙන්නත් තිබුනා කියල ඔහු මට කිව්වා. සුනාමියෙන් පස්සේ ලෝක විනාශය වගේ හිතල මුහූ තීරයේ ඉඩම් විකුණපු අයත් අද ඉන්නේ අයියෝ අපාරදේ අපේ ඉඩම් ටික කියාගෙන.

 

ඒක නිසා ඕනෑවට වඩා බය වෙන්නත් එපා. කලබලේ, හදිස්සියේ, බයේ තීරණ ගන්නත් එපා. දැනට තව මාස කිහිපයක් මාස්ක් එක දාගෙන සබන් දාල සමාජ දුරස්ථභාවයෙන් කොවිඩ් වලින් ආරක්ෂා වෙලා ඉන්න අතරේ ඔක්කොටම වඩා වටින හිත ආරක්ෂා කරගන්න, එතෙක් Media; Give us a break!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment