නවතම පුවත්

ඉන්දියාවේ Tik Tok තහනම් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වීඩියෝ නිර්මාණයට සහ හුවමාරුව සඳහා ප්‍රචලිත ටික්ටොක් (TikTok) මෘදුකාංගය (app) ඉන්දියාවේ සිය ඇප් ගබඩාවලින් (app stores) ඉවත් කිරීමට ඇපල් හා ගූගල් ආයතන පියවර ගෙන තිබේ.

මේ පියවර ගෙන තිබෙන්නේ, අදාළ මෘදුකාංගය අසභ්‍ය දේ පතුරුවාලීම සඳහා භාවිත කෙරෙන බවට අවධානය යොමුවීමෙන් පසු එය ඇප් ගබඩාවලින් ඉවත් කරන ලෙස මදුරාසි මහාධිකරණය දුන් තීන්දුවකින් අනතුරුවය.

එම තීන්දුව අත්හිටුවාලීම සඳහා නියෝගයක් ලබා ගැනීමේ අරමුණින්, ‘TikTok’ මෘදුකාංගයේ හිමිකරු වන ‘ByteDance’ නම් චීන සමාගම කළ අභියාචනය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අඟහරුවාදා (අප්‍රේල් 16) ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

ඉන්දියාව තුළ මිලියන 120කට වැඩි භාවිත කරන්නන් පිරිසක් හිමි ‘TikTok’ මෘදුකාංගයෙහි “නුසුදුසු දේ” අන්තර්ගතව ඇති බවට ඇතැමුන් විවේචන එල්ල කළහ.

යෞවනයින් අතර බෙහෙවින් ජනප්‍රිය එම මෘදුකාංගය, තමන් කැමති ගීතවලට අනුව තොල් මුමුණමින් රංගනයේ යෙදීමට මෙන් ම කෙටි විනෝදාත්මක නිර්මාණ කිරීමට ඉඩ සැලසෙන කෙටි වීඩියෝ පළ කිරීමට අවස්ථාව දී ඇත.

මෙය දැනටමත් බංගලාදේශයේ තහනම් කර ඇති අතර නීති විරෝධී ලෙස දරුවන් ගැන තොරතුරු එක්රැස් කිරීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ දඩයකට යටත් කොට ඇත.

‘TikTok’ මෘදුකාංගය තහනම් කරන ලෙස දන්වමින් මදුරාසි මහාධිකරණය සිය තීන්දුව හරහා මධ්‍යම රජයෙන් ඉල්ලා තිබෙන්නේ එයින් අසභ්‍ය දේ පරිශීලනයට දිරි දෙන බව හා එය භාවිත කරන තරුණ ප්‍රජාව ලිංගික විලෝපිකයින්ගේ ගොදුරු බවට පත් වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි. මේ පිළිබඳ විභාගය ලබන සඳුදා (අප්‍රේල් 22) යළි පැවැත්වීමට නියමිතය.

‘TikTok’හි අන්තර්ගතයෙන් නුසුදුසු හෝ අවිනීත යැයි සැලකිය හැක්කේ “ඉතා අඩු” ප්‍රමාණයක් බවට ‘ByteDance’ සමාගම අධිකරණයේදී තර්ක කළේය.

මාසිකව මිලියන 500 ඉක්මවූ ‘TikTok’ භාවිත කරන්නන් පිරිසක් ලොව පුරා සිටින බව එම සමාගම පවසයි.

කෙසේ වෙතත්, මදුරාසි මහාධිකරණයේ මූලික තීන්දුව පදනම් කර ගත් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, අදාළ මෘදුකාංගය ඇප් ගබඩාවලින් ඉවත් කර ගන්නා ලෙස ගූගල් හා ඇපල් සමාගම්වලට දන්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෘදුකාංගය හිමි සමාගම පැවසුවේ, “විරෝධයට ලක් විය හැකි අන්තර්ගත” ඉවත් කිරීම සඳහා ගන්නා ප්‍රයත්නය ඉහළ නංවා ඇති අතර භාවිත කරන්නන් වෙනුවෙන් වූ උපදෙස් උල්ලංඝණය වන ලෙස ඉන්දියාව තුළ පළ කරන ලද වීඩියෝ මිලියන 6ට වැඩි ප්‍රමාණයක් ඉවත් කරන ලද බව ය.

කෙසේ වෙතත්, මේ නියෝගය සම්බන්ධයෙන් යමක් පැවසීම ගූගල් සමාගම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඒ පිළිබඳ යමක් පවසන ලෙස කෙරුණු ඉල්ලීමට ඇපල් සමාගමින් ද කඩිනම් ප්‍රතිචාරයක් ලැබී නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්