BREAKING NEWSවිශේෂාංගසේයාරූ

Share now!

බංග්ලාදේශයේ නිතර ගංවතුරට හසුවන ප්‍රදේශවල වගා කටයුතු වීනාශ නොවී දිගටම කරගෙන යාමට එරට ගොවීන් භාවිත කරන ක්‍රමවේදය පිළිබඳ කෘෂි විශේෂඥයන් අලුතින්ම අධ්‍යයනය කිරීමට පටන්ගෙන තිබේ.

එහි සාර්ථකත්වය නිසාම අනාගතයේදී ගංවතුරට පමණක් නොව බොහෝ ගැටලුවලට විසඳුමක් ලෙස භාවිත කිරීමේ අරමුණින් මේ පිළිබඳ නව අධ්‍යයනවල නියැලීමට ඔවුන් කටයුතු කර ඇත.

මෙම ක්‍රමවේදය වන්නේ ගංවතුරට යටවන ප්‍රදේශවල ‘පාවෙන වගාබිම්’ සකස් කිරීමටයි. ඒවා පාවෙන වගා උද්‍යාන ලෙස ද හැඳින්වෙයි.

ආකාර කිහිපයකට මේවා සකස් කරන ගොවීහු මේ තිරසර විසඳුම නිසාම හැමදාමත් කරදරයක් නොමැතිව සිය වගා කටයුතු කරගෙන යති.

තෙත් බිම්වල වෙසෙන ජනතාවත් මේ ක්‍රමවේදය භාවිත කරන බවට එරට වාර්තා සඳහන් කරයි.

මඳක් උස්ව තැනූ අට්ටාල මත ගොවි කටයුතු සඳහා අවශ්‍ය පස් ආදිය යොදා බට, බූලි, ලී රාමු, යකඩ රාමු ආදිය යොදාගනිමින් මේවා සකස් කරයි.

පසුව ඒ මත පිළිවෙළකට ලියදි මෙන් වගා කරන බීජ, පැළ ආදිය වවන ගොවීන් ඒවායේ වැඩකටයුතු වැසි කාලවල කරන්නේ බෝට්ටු, පාරු ආදියෙන් ගමන් කරමිනි.

පාවෙන ගොවි බිම් ලෙස හැඳින්වෙන මෙම ක්‍රමවේදය වැසි කාලවලදී ඇතිවන ආහාර අනාරක්‍ෂිතතාවය අවම කිරීමට පමණක් නොව, බංග්ලාදේශයේ ගංවතුරට ගොදුරු වන ප්‍රදේශවල ග්‍රාමීය පවුල් සඳහා ආදායමක් ලබාදෙන මාර්ගයයක් බවට ද පත්ව ඇතැයි නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙයි.

“අප මෙහිදී වැඩි අවධානය යොමු කළේ දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන පුද්ගලයන්ගේ ජීවනෝපාය රැකගැනීමටයි. දේශගුණික විපර්යාසයන් හේතුවක් කර නොගෙන ඊට පුද්ගලයින්ගේ අනුවර්තන වෙනසක් ඇතිකරන්න අපිට මෙමඟින් පුළුවන් වුණා” එලෙස පවසා ඇත්තේ මේ පිළිබඳ කරන ලද අධ්‍යයනයක නිරත වන ඔහියෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සම-සමීක්ෂක, ක්‍රෙයිග් ජෙන්කින්ස් ය.

බංග්ලාදේශයේ පාවෙන උද්‍යාන ක්‍රමය ආරම්භ වූයේ මීට වසර සිය ගණනකට පෙරය. එහෙත් එකල සිට මෙම උද්‍යාන සාම්ප්‍රදායිකව භාවිත කරන ලද්දේ ජලය පිරි ගංගාවල ය. පාවෙන ස්වදේශික ශාකවලින් ඒවා සකස් කර තිබූ අතර ඓතිහාසික වශයෙන්, ගංගා ජලයෙන් පිරී ඇති වැසි කාලවලදී ආහාර අඛණ්ඩව වගා කිරීමට ඒවා භාවිතා කරන ලදී. බංග්ලාදේශයට මෙම ක්‍රමවේදය පැරණි එකක් වුවද ඔවුන් ගංවතුරට හසුවන ප්‍රදේශ සඳහා මෙම ක්‍රමය භාවිත කිරීමට පටන් ගත්තේ බොහෝ මෑතකදී ය.

ගොවීන් අඩි තුනක් පමණ ගැඹුරට ජලය තුළ රාක්ක තට්ටුවක් සාදා ජලයේ පාවෙන උද්‍යානවල අනුවාදයක් නිර්මාණය කරයි. පරාල දැමූ රාක්කවල මුලින් පැලෑටි දමා දිරාපත් වන්නට හරින අතර ඒවා දිරාපත් වන විට, එළවළු පැල පෝෂණය කිරීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ නිකුත් කරයි. ඉන්පසු ඔවුන් ඒ තුළ එළවළු රෝපණය කරති. මෙලෙස රෝපණය කරන එළවළු වර්ග අතර බණ්ඩක්කා, කරවිල, නිවිති සහ වම්බටු ඇතුළත් වේ. සමහර විට කහ සහ ඉඟුරු වැනි කුළුබඩු ද ඊට ඇතුළත් වේ. කලින් කලට මේ පාවෙන ගොවි බිම්වල විවිධ වර්ගයේ එළවළු, පලතුරු කුළු බඩු ආදිය ද අත්හදා බැලීමට ගොවීහු කටයුතු කරති.

මේ සඳහා මුලදී තරමක වියදමක් සිදුවූවද ගොවීන් පවසන්නේ පසුව එම වියදම මෙන් කිහිප ගුණයකින් මෙම ක්‍රමය මගින් අඛණ්ඩව ලාභ ඉපයිය හැකි බවයි. වෙළෙඳපොළේ එළවළු හිඟ කාලයට ද ඔවුන් සතුව තොග ඔ්නෑතරම් ඇත. විශේෂත්වය වන්නේ ගංවතුර කාලවලදී පමණක් නොව මෙම ක්‍රමය නියං කාලවලදී ද අපූරු විසඳුමක් වීම බව අධ්‍යයනයෙන් තවදුරටත් තහවුරු කර ඇත.

එළවළු වගාවේ නියැලෙන ගොවීන් තවත් පියවරක් ඉදිරියෙන් තබමින් පාවෙන එළවළු වගා බිම් මැද මත්ස්‍ය වගාවන් ද සිදුකරති. ඒවා බොහොමයක් රවුමට ගොවි බිම සකස් කර මැද මත්ස්‍ය වගාවට යොදාගැනීමට කටයුතු කරති.

නව අධ්‍යයනනයෙන් අනාවරණය කරගත් තවත් කරුණක් වන්නේ පාවෙන ගොවි බිම් වගාකරුවන් සාම්ප්‍රදායික සහල් වගාවේ යෙදෙන ගොවීන් උපයන ප්‍රමාණය මෙන් සිව් ගුණයක් වැඩියෙන් මෙමගින් උපයන බවයි. පාවෙන වී වගාව සාර්ථක වීම ද ඊට හේතුවයි.

පාවෙන ගොවි උද්‍යාන මියන්මාරය, කාම්බෝජය සහ ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද භාවිත කෙරේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් බංග්ලාදේශයේ පාවෙන උද්‍යාන ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම පද්ධතියක් ලෙස නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment