BREAKING NEWSවිශේෂාංග

Share now!

භාෂණයේ නිදහස , අදහස් පලකිරීමේ අයිතිය, රට තුල ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීම, සඳහා සියළු පාර්ශව එකාවන්ව කැපවීමෙන් හා අවංකව ඉදිරිපත්විය යුතු බව කැනඩාවේ වින්ඩ්සර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය , ජගත් කීර්තිධර කිවියර චේරන් රුද්‍රමූර්ති අවධාරණය කර සිටී .

මෙරට බිහිවූ කිසිදු රජයක් , ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් , කණ්ඩායමක් , සන්නද්ධ කල්ලියක් , භාෂණයේ නිදහස හා අයිතිය , මෙන්ම අදහස් දැරීමේ පලකිරීමේ නිදහස හා අයිතිය නිසි පරිදි නොපිළිගත් බවත් එම අයිතීන්ට නිසි පරිදි ගරුකිරීමට පවා ඔවුන් අපොහොසත් වූ බවත් චේරන් අවධාරණය කර සිටී .

පසුගිය අරගල සමයේ මාධ්‍ය නිදහස , භාෂණයේ නිදහස වෙනුවෙන් කැපවූ සියලුදෙනාවම , ජාති , පක්‍ෂ පාට භේදයකින් තොරව අපක්ෂපාතීව හා සාධාරණව සැමරීමට හා අනුස්මරණය කිරීමට සියලු පාර්ශව කටයුතු කල යුතු බවත් , ජාතීන් අතර සහෝදරත්වය නැංවීමට හා සහජීවනය ගොඩනැංවීමටද එය අතිශයෙන් වැදගත් වන බවත් මහාචාර්යවරයා සඳහන් කර සිටී

ජාත්‍යන්තර සම්මානයෙන්ද පිදුම්ලද කිවිඳියක හා සාහිත්‍ය ක්‍රියාකාරිනියක වන ත්‍යාගරාජා සෙල්වනීති හෙවත් ” සෙල්වී ” ගේ සාහිත්‍ය සේවාව හා කවිතාව ඇගයීම හා සිහිපත් කිරීම වෙනුවෙන් පැවති මාර්ගගත (online ) කථිකාවට එක්වෙමින් චේරන් මේ බව අවධාරණය කළේය .

උතුරු හා නැගෙනහිර ගැටුම් හා අරගල පැවති සමයේ එල් ටී ටී ඊ සංවිධානයෙන් පැහැරගෙන ගොස් ඝාතනය කල බවට සැලකෙන “සෙල්වී ” , ජාත්‍යන්තර පෙන් ( PEN ) ආයතනයෙ සම්මානයට පාත්‍රවූ එකම ශ්‍රී ලාංකික කිවිඳිය හා සාහිත්‍යවේදිනිය වේ.

භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වෙනුවෙන් ලබාදෙන මෙම පෙන් / බාබරා ගෝල්ඩ්ස්මිත් සම්මානයෙන් ඇය පිදුම්ලබන්නේ 1992 වසරේදී වන අතර , ඒ වනවිටත් ඇය එල් ටී ටී ඊ සංවිධානය විසින් පැහැරගෙනගොස් තිබු බව” පෙන් “ආයතනය සඳහන් කරයි .
ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA ) විසින් සංවිධානය කල මෙම සමරු කතිකාව සඳහා ජාත්‍යන්තර පෙන් ආයතනයෙන්ද විශේෂ පණිවුඩයක් ඒවා තිබුණු අතර , භාෂණයේ නිදහස වෙනුවෙන් සිදුකල මහත්වූ කැපවීම් සලකා සෙල්වී වෙත මෙම සම්මානය ලබාදුන් බව එම පණිවුඩයේ සඳහන් විය.

ප්‍රවීණ මාධ්‍යවේදිනී ,සමාජ ක්‍රියාකාරිනි සීතා රංජනී විසින් මෙම සමරු වැඩසටහනේ විශේෂ දේශනය ඉදිරිපත් කල අතර ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති , ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහද මෙහිදී අදහස් දැක්වීය ,

පෙන් ජාත්‍යන්තරයේ පණිවුඩය මෙහිදී ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ මහලේකම් පැතුම් වික්‍රමරත්න විසින් ඉදිරිපත් කල අතර , ස්තූති කතාව සංගමයේ ප්‍රධාන ලේකම් නිශාන්ත අල්විස් විසින් ඉදිරිපත් කරනු ලැබීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චේරන් රුද්‍රමූර්ති මෙසේද පැවසීය ,

සෙල්වී වැනි කෙනෙක් අනුස්මරණය කිරීම සඳහා, සිහි කිරීම සඳහා , මෙවැනි සමරු වැඩසටහනක් පැවැත්වීම ගැන මුලින්ම මෙහි සංවිධායකයින්ට, එනම් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයට ප්‍රණාමය හා ගෞරවය පිරිනමන්න මම කැමතියි.

අපගේ සිත්වල ඇතිව තිබු විවිධ තුවාල සුව කිරීමටම පමණක් නොවේ , ජාතීන් අතර සහෝදරත්වය ගොඩනැංවීමටත් මෙවැනි සමරු හා , සිහිකිරීම් අතිශයෙන් වැදගත් වනවා .

දමිල ජනතාව , පසුගිය යුධ සමයේදී ඊට ගොදුරුවී තමන්ට අහිමිවී ගිය හිතමිතුරන් ඥාතීන් සමරන්නට විවිධ උත්සව පවත්වනවා . විරු දිනය නමින් සමැරුම් වැඩසටහනක් පැවැත්වෙනවා . ජූලි කලබල සිහි කර සමරුම් පැවැත්වෙනවා . මුල්ලිවයික්කාල් වල සිදුවූ සිදුවීම් සිහිකෙරෙනවා.

එසේම මුස්ලිම් ජනතාවත් යුධ සමයේදී එල් . ටී ටී ඊ සංවිධානය විසින් ඔවුන්ව යාපනයෙන් පලවා හැරීමේ සිදුවීම් මාලාව විවිධ ආකාරයෙන් සිහි කරමින් සමරු වැඩසටහන් පවත්වනවා . සිංහල ජනතාවත් යුද්ධයේදී මියගිය සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන්ද සිහිකරමින් විවිධ සමරු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා .

නමුත් ඇත්තෙන්ම මෙරට ජාතීන් අතර සහෝදරත්වය ගොඩනැංවීමට නම් , එල් ටී ටී ඊ ඇතුළු ද්‍රවිඩ සන්නද්ධ කල්ලි විසින් සිදුකල සාහසික ක්‍රියා පිළිබඳව සිහිපත් කිරීමට දමිල ජනතාවට හැකියාවක් තිබිය යුතුයි , එම කරුණ පිළිගැනීමට දමිල ජනතාව අපක්‍ෂපාතී විය යුතුයි .

එලෙසින්ම එම යුධ සමයේ මෙරට රජයේ හමුදා අතින් සිදුවූ සාහසිකකම් පිළිබඳව නැවත සිහි කිරීමට , ඒවා ගැන පසු විපරමක් කිරීමට සිංහල සමාජයටද හැකියාව තිබිය යුතුයි . ඔවුන්ද ඒ සඳහා අපක්‍ෂපාතී ලෙස පෙළගැසිය යුතුයි . මෙවැනි පියවරයන් හරහා තමයි සැබෑ ජාතික සමගියක් , සහෝදරත්වයක් ගොඩනැගිය යුත්තේ . සෙල්වී සැමරීමට සංවිධානය කර ඇති මෙම වැඩසටහනේ වැදගත්කම එයයි.

අද වනවිට සිටින තරුණ සමාජය , විශේෂයෙන්ම 90 දශකයේ බිහිවූ තරුණ සමාජයට , වසර තිහක කාලයක් පුරා මෙරට පැවති අරගල ගැන , ප්‍රචණ්ඩත්වය ගැන අත්දැකීම් නැහැ ඔවුන් එම ඛේදවාචකය , අත්විඳ නැහැ . මේ නිසාම අප ජාතීන් අතර බිඳී ගිය පාලම යලි ගොඩනැගීමට , ඒ සහෝදරත්වයයලි නැංවීමට මෙම තරුණ සමාජය තුලින් විවිධ කණ්ඩායම් ඉදිරියට ඒම ඉතා වැදගත් කරුණක් ලෙස මා දකිනවා . සමාජ මාධ්‍ය තුල අප එම තරුණයින්ගේ එවැනි උත්සාහයන් දකිනවා .

ඇත්තෙන්ම ජාතීන් අතර සම්භන්ධය සාර්ථක ගොඩනැංවීමට මෙම තරුණ පිරිසට විශාල විභවතාවයක් තියෙනවා කියල මට හිතෙනවා . ඔවුන්ට වඩාත් අපක්‍ෂපාතී ලෙසත් සාධාරණ ලෙසත් එම කටයුත්ත සිදුකල හැකියි කියා මට හිතෙනවා . අද පවත්වන මෙම වැඩසටහනත් , එවැනි එක් සාධනීය පියවරක් ලෙස දැක්විය හැකියි . මෙය අපේ සිත් තුල ආනාගතය පිලිබඳ සුභවාදී බලාපොරොත්තු ඇතිකරවන්නක් . මෙම නව පරම්පරාවට අතීතය දෙස වඩාත් සමබරව බැලීමේ හැකියාව තිබෙනවා . එයයි වඩාත් වැදගත් වන්නේ .

සෙල්වී මගේ කිට්ටු මිතුරියක්ව සිටියා . මට ඇයව මුණගැසුනේ ඇගේ එකල පෙම්වතා ලෙස සිටි අශෝක් හරහා . අශෝක්ද සෙල්වී මෙන්ම විප්ලවකාරී සමාජ ක්‍රියාකාරිකයෙක්ව සිටියා මට මතකයි . ඔවුන් දෙදෙනාම එකල යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන්ව සිටියා .

මම එකලත් කිසිම දමිල සන්නද්ධ කල්ලියකට සම්භාන්ධවී සිටියේ නැහැ , එසේම එවැනි කිසිදු සංවිධානයකට මගේ සහයක් තිබුනේ නැහැ . ඊට හේතුව වුනේ මම කවදත් මගේ නිදහස ඉහළින් අගය කිරීමයි . භාෂණයේ නිදහස , අදහස් පලකිරීමේ නිදහස , මා ඉහලින්ම අගය කළා . එම නිසාම එවැනි සන්නද්ධ කල්ලි වල ක්‍රියාකාරීත්වය ගැන පැහැදීමක් තිබුනේ නැහැ . සෙල්වී හා අශෝක් එකල “ප්ලොට් ” සංවිධානය සමග සබදතා පැවැත්වුවා . නමුත් එය අපගේ මිත්‍රත්වයට , බාධාවක් වුනේ නැහැ .

සෙල්වී දක්‍ෂ කිවිඳියක් , නාට්‍ය ශිල්පිනියක් ඒවගේම සාහිත්‍යවෙදිනියක් . එසේම ඇය මාධ්‍යවේදිනියක් , සාහිත්‍යමය මාධ්‍යවේදිනියක් කිව්වොත් වඩාත් නිවැරදියි , ඇගේ සඟරාව තුලින් සාහිත්‍ය, කලාව , කවිය ගැන පුළුල්ව සාකච්ජාවට ලක්කෙරුනා .

මම ඒකාලේ යාපනයේ පළවූ ” සැටර්ඩේ රිවීව් ” පුවත්පතට ලිපි සැපයුවා . එය එකල ඉංග්‍රීසි බසින් සති පතා යාපනයේ පළවූ එකම පුවත්පත . එසේම කොළඹින් පිට ප්‍රදේශයක සිට පලකල එකම ඉංග්‍රීසි පුවත්පතද එයයි . කෙසේ වෙතත් 1983 කාලයේ එම පුවත්පත තහනම් කෙරුනා . එය යලි පටන් ගැනීමට 1984 වසර පමණ වන විට අවස්ථාවක් තිබුනත් , ඒ සඳහා ඉදිරිපත්වන්නට තරම් ධෛර්යක් යාපනයේ බොහෝ දෙනෙකුට තිබුනේ නැහැ . එම නිසාම පුවත්පත ආරම්භ කර පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිස සොයාගැනීම අපහසු කටයුත්තක් වුනා . එකල පැවති බියකරු වාතාවරණය තුල අවදානමක් ගෙන යලි පුවත්පත පටන්ගැනීම දැඩි අභියෝගයක් වුනා .

නමුත් මගේද ගුරුවරයෙක් ලෙස සැලකිය හැකි , සිංහල මාධ්‍යවේදියෙක් මෙම නිර්භීතව මෙම කටයුත්තට ඉදිරිපත්වුනා . ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි ගාමිණී නවරත්න . ඔහු මෙම අභියෝගය භාරගෙන යාපනයට පැමිණ , මෙම පුවත්පත ආරම්භ කර , එහි කර්තෘ ලෙස කටයුතු කළා. ඔහු සති අන්ත පුවත්පතර දේශපාලන තීරු ලිපියක්ද සම්පාදනය කළා . ඔහු දමිල ජනතාව සාධාරණය හා සමානාත්මතාවය වෙනුවෙන් නගන හඬට නිරන්තරවම සහය දුන් එඩිතර මාධ්‍යවේදියෙක් .ඔහු දමිල ජනතාවගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි ශක්තිමත් චරිතයක් වුනා . ඇත්තෙන්ම ඔහු තමයි එකල යාපනයේ සිටි එකම සිංහල සිවිල් වැසියා . එමනිසාම ඔහුට විවිධ කරදර හිරිහැර වලට මුහුණ දීමට සිදුවුණා .

එකල කොළඹ හා යාපනය අතර විධිමත් ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වුනේ නැහැ . එම ජ්සා ගාමිණීට කොළඹ යන එකත් ගැටළුවක් වුනා . මාස තුනකට වරක් පමණ ඔහු කොළඹ ගියේ විවිධ දුෂ්කරතා මදැයි. බස් රථ කීඔයකින් වවුනියාවට යන ඔහු එතනින් කොළඹට බස් රථයට ගොඩවෙනවා . ඔහුව එම බස්රථය දක්වා ආරක්‍ෂාකාරීව ගෙනයාමේ රාජකාරිය ඉටුකළේ මමයි , සෙල්වියි තමයි . අප දෙදෙනා එකතුවී , ඔහුව ආරක්‍ෂාකාරීව වවුනියාවට රැගෙන එනවා . එපණක් නොවේ ඔහු වවුනියා කොළඹ බස්රථයට , එය පිටත්වන තුරුත් අප දෙදෙනා ඔහුට ආරක්‍ෂාවක් වෙමින් එත රැඳී සිටින හැටි මට තවම මතකයි . විටෙක පාපැදි වලින් ,විටෙක යතුරු පැදි වලින් අප දෙදෙනා ගාමිණීව වවුනියාවට එක්කන් එනවා . සෙල්වී තුල තිබු ධෛර්ය , නිර්භීත කම , එම මතකය තුලම තිබෙනවා .

සෙල්වී දක්‍ෂ කිවිඳියක් වුනත් ඇයට විශාල කවි ප්‍රමාණයක් ලියන්න ලැබුනේ නැහැ . ඇයව එල් ටී ටී ඊ සංවිධානයෙන් පැහැරගනු ලැබුවේ ඇය බොහෝ තරුණ වයසේ සිටින විටමයි . නමුත් ඇය ලියු කවි ස්වල්පය වුනත් අගේ දස්කම් මොනවට පැහැදිලි කරනවා . කෘතහස්ත කවියෙකු වන ඒ.කේ රාමනුජන් විසින් ඇගේ කවි ඉංග්‍රීසියට පරිවර්ථනය කළා . ඒවා ඒසියන් බුලටින් නම් සඟරාවේ පළවුණා . ඒ 90 දශකයේ අගභාගයේදී .

නිදහස් අරගලයක් ලෙස , විමුක්ති අරගලයක් ලෙස ආරම්භ වූ දමිල විරෝධතා ව්‍යාපාරයන් පසුකාලීනව එම නිශ්චිත අරමුණෙන් බැහැර වන්නට පටන්ගත්තා . එල් ටී ටී ඊ සංවිධානය විශේෂයෙන්ම මෙම ආරම්භක අරමුණු , හා ඉලක්කයන්ගෙන් පිට පනිමින් ජාතිකවාදී මුහුණුවරක් කරා ගමන් ගන්නට වුනා . එහිදී වැරදි , අසාධාරණ ක්‍රියා රැසක් සිදුවුණා . මේ නිසාම එම කාලය දමිළ අරගලවල අඳුරු යුගයක ආරම්භය ලෙස සැලකිය හැකියි . මෙම අඳුරු යුගයේ ආරම්භයේ තමයි සෙල්වී , කරලියට එන්නේ , අවසානයේ සෙල්වී ට අත්වූ ඉරණම හරහා කියවෙන්නෙ, මූලික අරමුණු හා ඉලක්කයන්ගෙන් බැහැරව ගිය අරගලයක , “වැරදුනු තැන්” පිළිබඳවයි .

සෙල්වී ඝාතනයට ලක්වුණේ එල් ටී ටීය අතින් බව කවුරුත් දන්නා කරුණක් , නමුත් මේ අඳුරු යුගයේ එල් ටී ටී ඊ සංවිධායෙන් පමණක් නොවේ , රජයේ හමුදා අතින් මෙන්ම මෙරටට පැමිණි ඉන්දියානු හමුදා අතින්ද , භාෂණයේ නිදහසට මෙවැනි දැඩි බලපෑම් එල්ලවුනා . එකල සෙල්වී පමණක් නොවේ තවත් දමිල සාහිත්‍යවේදීන් , මාධ්‍යවේදීන් , කවියන් සියයකට ආසන්න පිරිසක් ඝාතනයට ලක්වුනා . මේ සිදුවීම් සියල්ල ගැන අප ආපසු හැරී බැලිය යුතුයි .

මෙම යුගයේ සිදුවූ අසාධාරණ , සාහසික ක්‍රියා ගැන උදාහරණ ඕනෑතරම් දක්වන්න පුළුවන් , නමුත් එහිදී විශේෂයෙන් මතකයට එන උදාහරණ කිහිපයක් මම ගෙන හැර දක්වන්නම් , එමගින් එම යුගයේ තිබු සංකීර්ණ තත්වයන් ගැනත් අවබෝධ කරගත හැකිවේවි .

අයි . ෂන්මුගම් නමින් පුවත් පත් කලාවේදියෙකු සිටියා , “ඉල්ලෙනායි” නම් පුවත්පතේ කර්තෘ ලෙස ඔහු කටයුතු කළා . ඉන්දීය හමුදා මෙරටට පැමිණි කාලයේ , එම හමුදාවන් සමග එක්වුණු ඊ පී ආර් එල් එෆ් වැනි ද්‍රවිඩ කල්ලි විසින් , මෙම පුවත් පත ආක්‍රමණය කළා . ඔවුන් එම පුවත්පතේ මාධ්‍යවේදීන්වත් බලහත්කාරයෙන් පුවත් පතේ කාර්යාලය තුලම රඳවා ගත්ත . ඉන්පසු එම මාධ්‍යවේදීන්ට තර්ජනය කොට , බලහත්කාරයෙන් , තමන්ට අවශ්‍ය පරිදි පුවත්පත මුද්‍රණය කරන ලෙස එම මාධ්‍යවේදීන්ට තර්ජනය කළා . ෂන්මුගම් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසටත් ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් තිබුනේ නැහැ , මරණ බිය නිසා ඔවුන් එම සන්නද්ධ කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි කටයුතු කළා. ඒ අනුව මාස කිහිපයක්ම එම පුවත්පත ඊපී ආර් එල් එෆ් සංවිධාන ඇතුළු එම ද්‍රවිඩ කණ්ඩායම්වලට වලට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වුනා . එහිදී ඉන්දු ලංකා ගිසුමට පක්‍ෂ පාතී ලෙස ලිපි පලකරන්න . ෂන්මුගම් ඇතුළු මාධ්‍යවේදීන්ට සිදුවුනා .

පසුව ටික කලකින් ඉන්දු හමුදාවන්ද මෙරටින් ගිය පසු , ඊපී ආර් එල් එෆ් සංවිධානයද මෙම පුවත්පත අත්හැර ඉවත්ව ගියා , එවිට එල් ටී ටී ඊ සංවිධානය පැමිණ ෂන්මුගම් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්ත . ශාන්මුගම්ව වෙඩි තබා ඝාතනය කළා . මෙම සිදුවීමෙන්ම පැහැදිලිවෙනවා මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් වැසියන්ට කෙතරම් අසාධාරනකම් වලට මුහුණදීමට සිදුවුනාද යන්න . භාෂණයේ නිදහසට එල්ලවූ බරපතල බලපෑම් ගැන .

ඒ අනුව මට මෙහිදී අවධාරණය කල යුතු ප්‍රධාන කරුණ වන්නේ මෙයයි , පසුගිය අඳුරු සමයේ විවිධ හේතු නිසා විවිධ කණ්ඩායම් අතින් විවිධ මාධ්‍ය වේදීන් ., කලාකරුවන් , කවියන් , ඝාතනයට ලක්වුනා . සහෝදරත්වය , සහජීවනය අගයන පුද්ගලයින් ලෙස අප මේ මොහොතේ කල යුත්තේ , වෙනසකින් තොරව , භේදයකින් තොරව, අපක්ෂපාතී ලෙස , පුද්ගලික න්‍යාය පත්‍රයන්ගෙන් බැහැරව එම සියලුදෙනාවම එකලෙස සිහිපත් කිරීමයි . අනුස්මරණය කිරීමයි .

මේක වනාන්තරයක් , අප වෙන වෙනම , එකීන් එක ගස් දිහා බැලුවහොත් , මේ වනන්තරයේ ස්වභාවය අපට හඳුනාගන්න නොහැකිවනවා . අපි මේ වනන්තරය දෙස එකවරම බැලිය යුතුයි . ඒ සඳහා උත්සාහ කලයුතුයි . පසුගිය කාලය පුරාවට මම දැක්කේ තම න්‍යාය පත්‍රයන්ට අනුව සිදුකෙරුණු තෝරාගත් අනුස්මරණයන් , ” තෝරාගත් ” සිහිකිරීම් . නමුත් අපට ඉදිරියට වැඩිපුර අවශ්‍යවන්නේ සාමූහික අනුස්මරණයන් , සාමූහික සිහිකිරීම් . ඒ හරහා තමයි සැබෑ සහෝදරත්වයක් , සහජීවනයක් ජාතීන් අතර ගොඩනැගිය හැක්කේ .

මේ රටේ බිහිවුණු එල් ටී ටී ඊ ය ඇතුළු ද්‍රවිඩ කණ්ඩායම් පමණක් නොවේ , රටේ බලයට පත්වූ කිසිදු රජයක් , කිසිදු දේශපාලන කණ්ඩායමක් , සංවිධානයක් . භාෂණයේ නිදහස වෙනුවෙන් අවංකව කටයුතු කලේ නැහැ . අදහස් පලකිරීමේ අයිතිය , මාධ්‍ය නිදහස නිසිලෙස ගරු කලේ නැහැ , ඊට ඇති අයිතියට ගරු කලේ නැහැ .එම අයිතිය පිළිගත්තේ නැහැ . මේ තත්වය නිසා තමයි මා ද ඇතුළු බොහෝ ලේඛකයින්ට , සාහිත්‍යකරුවන්ට කවියන්ට රට හැර යන්න වුනේ .

. අප වැනි භාෂණයේ නිදහස උපරිමයෙන් ගරු කරන , මතවාද දැරීමේ අයිතිය , අදහස් පලකිරීමේ අයිතිය , නිදහස උපරිමයෙන් ගරු කරන පුදගලයින්ට මෙරට පවතින කිසිදු දේශපාලන පක්ෂයක් , සංවිධානයක් සමග එක්වීමට නොහැකි තවත්යක් මතුව ඇත්තේද එම නිසයි .

රටේ පවතින හා පැවතුන මෙම අවාසනාවන්ත තත්වයේ සංකේතයක් ලෙසයි සෙල්වී සැලකිය හැක්කේ . ඇයත් භාෂණයේ නිදහස , අදහස් පලකිරීමේ නිදහස උපරිමයෙන් ගරු කල කෙනෙක් , ඊට ඇති අයිතිය වෙනුවෙන් ඇය නොබියව පෙනී සිටියා . ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට ඇයට සිදුවුනා .

භාෂණයේ නිදහස ගරු කල , , අදහස් පලකිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි සියලුම , ලේඛකයින්ට සාහිත්‍යකරුවන් කවියන් , මාධ්‍යව්දීන් අප මේ මොහොතේ සිහිපත් කලයුතුයි . එවැනි මාධ්‍යවේදීන්ට , සාහිත්‍යකරුවන්ට ලේඛකයින්ට මෙරට තුල ජීවත්වීමට ඇති ඉඩකඩ , ඊට සුදුසු වාතාවරණය , පරිසරය අප ගොඩනැගිය යුතුයි .

භාෂණයේ නිදහස , මතවාද දැරීමේ නිදහස නිසි ලෙස රට තුල සථාපනය කිරීම සඳහා අප කටයුතු කල යුතුයි . සෙල්වී වෙනුවෙන් අපට කල හැකි ඉහළම දෙය එයයි !

ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී තකීෂන් විසින් භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වැඩසටහන මෙහෙයවූ අතර ” සෙල්වී ” විසින් නිර්මාණය කල කාව්‍ය කිහිපයක් මෙහිදී ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදිනී ප්‍රියන්තනී ගමගේ විසින් ගායනා කරන ලදී.

 

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment