Corona Live Updateවිශේෂාංගසේයාරූ

Share now!

ලොව පුරා එන්නත්කරණය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී ඉදිරි මාස 3-6 දක්වා කාලය තුළ කොවිඩ් -19 වසංගතයේ අවසානයක් දැකීමට බලාපොරොත්තු වුවද ඒ පිළිබඳ විශ්ලේෂණ‍ කරනු ලබන ජාත්‍යන්තර විද්‍යාඥයින්ගෙන් නරක ආරංචියක් ලැබී තිබේ.

වසංගත හේතුවෙන් දැනටමත් බොහෝ රටවල පාසල් වසා දමා පන්ති අවලංගු කර ඇත. එන්නත් කරන ලද වැඩිහිටියන් සිටින සාත්තු නිවාස හෝ වේවා නිවැසියන් හෝ වේවා එවැනි සංවෘත පරිසර තුළ මෙන්ම රෝහල් පිරී ඉතිරී යාම නිසා නැවත කාර්යාලයට පැමිණීමේ අවදානම පිළිබඳ සේවයේ යෙදෙන ශ්‍රම බළකාය විසින් යළි සිතාබලනු ඇති බවත් කොවිඩ් යළි යළිත් ආසාදනය වීමේ භීතියට ගෝලීය ජනතාව තවදුරටත් මුහුණ දෙනු ඇති බවත් ජාත්‍යන්තර විශේෂඥයෝ පවසති.

ලොව පුරා බිලියන ගණනක් මිනිසුන්ට තවමත් එන්නත ලබා දී නොමැත. වෛරසය මුළුමනින්ම තුරන් කිරීමට දැන් ඇති ඉඩකඩ පිළිබඳ සොයාබැලීම පසෙක තබා රටවල්වල කඩාවැටී ඇති ආර්ථිකයන් නැවත විවෘත කිරීම සඳහා ඉදිරි පියවර ගන්නා බැවින්, ඉදිරි මාසවලදී පන්ති කාමර, පොදු ප්‍රවාහන සේවා සහ සේවා ස්ථාන තුළ වසංගතය වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ඔවුන්ගේ අදහසයි. ප්‍රතිශක්තිකරණ අනුපාතය ඉහළ ගියද, වෛරසයට ගොදුරු වියහැකි පුද්ගලයින් සැමවිටම සමාජය තුළ සිටිනු ඇත. අලුත උපන් බිළිඳුන්, එන්නත් ලබා ගත නොහැකි හෝ එන්නත් නොකරන පුද්ගලයින් සහ එන්නත ලබාගත් නමුත් ඔවුන්ගේ ප්‍රතිශක්තරණ මට්ටම පහත වැටෙන බැවින් යම් ආසාදන, රෝගවලින් පීඩා විඳින අය එහිදී ගොදුරු බවට පත්වනු ඇතැයි ඔවුන්ගේ හැඟීමයි.

ඉදිරි මාස කිහිපය තවත් අසීරු වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ. ඉදිරියේදී ඇති එකම අවදානම එය නොවන බව ද විශේෂඥයන් අවධාරණය කරයි. එනම් එන්නතට ඔරොත්තු දෙන ප්‍රභේදයක් වර්ධනය වුවහොත් යන්න එක් ප්‍රධාන අන්තරායකි. ඉදිරි මාසවලදී, ආර්ථිකයන් සහ වෙළඳපල, ඖෂධ කර්මාන්තය, සංචාරක සහ තවත් බොහෝ දේ කෙරෙහි වසංගතයේ දිගුකාලීන බලපෑම ගැන ද අවධානයෙන් සිටීමට සිදුවනු ඇත.

“ලෝකය පුරාම අඛණ්ඩව ඉහළ යාම් ඇති වන බව මගේ හැඟීමයි.” මිනියාපොලිස් හි මිනසෝටා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පර්යේෂණ හා ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන්ගේ උපදේශක මයිකල් ඔස්ටර්හෝම් පැවසීය.

‘අවම වශයෙන් ඉදිරි වසර කිහිපය තුළදී වැඩි වැඩියෙන් එන්නත ලබාගන්නා හෙයින් අපි කඳු මෙන්ම නිම්න දැකීමට යමින් අඩුවැඩිවීම් අපේක්ෂා කරමු. නමුත් අභියෝගය වනුයේ කඳු සහ නිම්න දුර ප්‍රමාණයෙන් කෙතරම් විශාල වනු ඇත්ද? යන්න අපි හරියටම දන්නේ නැහැ. නමුත් මට ඔබට අවධාරණයෙන් එකදෙයක් කියන්න පුළුවන්, කොරෝනා වයිරසය ලැව් ගින්නක් ව‍ගේ. එයට දැවිය හැකි සියලු මිනිස් දැව සොයා ගන්නා තුරු එය නතර නොවේ.” යැයි ද හෙතෙම කීය.

ඩෙන්මාර්කයේ රොස්කිල්ඩ් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ සහ ජනගහන සෞඛ්‍ය විද්‍යා මහාචාර්ය ලෝන් සිමන්සන් පවසන පරිදි පසුගිය වසර 130 තුළ වාර්තා වූ බරපතළම ඉන්ෆ්ලුවෙන්සා වසංගත පහෙන් කොවිඩ් කෙසේ සිදු විය හැකිද යන්න පිළිබඳ යම් සැලැස්මක් පෙන්නුුම් කරයි. ඇය එවැනි සිදුවීම් පිළිබඳ විශ්ලේෂණය ප්‍රවීණයෙකි.

දීර්ඝතම කාලයක් පැවති ගෝලීය උණ වසංගතය වසර පහක් පැවතුනද, ඒවා සාමාන්‍යයෙන් වසර දෙක තුනක් තුළ රැළි දෙක තුනකින් සමන්විත වූ බව ඇය පැවසුවාය. කොවිඩ් මේ වන විටත් වඩාත් දරුණු වසංගත තත්ත්වයන් බවට පත් වෙමින් පවතී. එහි දෙවන වසර අවසන් වන්නේ ලෝකය සමඟ තුන්වන රැල්ල මධ්‍යයේ ය. මෙහි තවමත් අවසානයක් නොපෙනේ යැයි මහාචාර්ය ලෝන් සිමන්සන් කියාසිටී.

‘අතීතයේ පැවති බරපතළ වසංගත මගින් සකස් කළ පාරේම SARS-CoV-2 ලෙස හැඳින්වෙන වෛරසය නොයනු ඇත. එය වෙනස්, නව හා බොහෝ විට සම්ප්‍රේෂණය කළ හැකි රෝග කාරකයකි. මේ වන විටත් මිලියන 4.6 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එය 1918 ‘ස්පාඤ්ඤ උණෙන්’ පසු ඇති වූ ඕනෑම වසංගතයක් මෙන් දෙගුණයකටත් වඩා මාරාන්තික ය.’ ඇය පෙන්වා දෙයි.

සෙසු රටවලට සාපේක්ෂව ඉහළ එන්නත්කරණ අනුපාත තිබියදීත්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් වාර්තාගත ආසාදියන් තවදුරටත් වාර්තා වෙමින් ඇත. ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීම මගින් ආසාදිතයන්ගේ සෞඛ්‍ය දරුණු අවස්ථා ඇතිවීම සහ මරණ අනුපාත මධ්‍යස්ථ කිරීමට උපකාරී වී ඇත. නමුත් වැඩිවන ආසාදනවලින් අදහස් කරන්නේ එන්නත ලබා නොගත් තරුණයින්ට සහ එන්නත ලබාදිය නොහැකි ඛාණ්ඩවල අයට වෛරසය සම්ප්‍රේෂණය වන අතර එම කණ්ඩායම් තුළ බරපතල ලෙස රෝග බෝවීමේ ප්‍රවණතාව ඉහළ යාමට හේතු වන බවය.

මැලේසියාව, මෙක්සිකෝව, ඉරානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළුව එන්නත් කිරීම අඩු මට්ටමක පවතින රටවල් සිටින්නේ වසංගතයේ නරකම අවධියේය. ඒ එම රටවල හටගන්නා ඩෙල්ටා විකෘතීන් විසින් තත්ත්වය තව තවත් උත්සන්න කිරීම නිසයි. පෘථිවියේ විශාල ප්‍රදේශයක වෛරසය තවමත් පාලනය කරගත නොහැකි ලෙස පැතිර යමින් තිබියදී තවත් භයානක නව ප්‍රභේදයක් ඇති විය හැකිය.

මහාචාර්ය සයිමන්සන්ට අනුව, කාලයත් සමඟ වෛරස් ස්වයංක්‍රීයවම මෘදු වන බවට ඉතිහාසය පෙන්නුම් කරයි. නව විකෘති සෑම විටම ඔවුන්ගේ පෙර පැවති ප්‍රභේදවලට වඩා දරුණු නොවූවත්, “වෛරසය එහි නව ධාරකයාට අනුවර්තනය වන හෙයින් වසංගත කාලයේදී මෙම නව ප්‍රවණතාව වඩාත් මාරාන්තික විය හැකිය,” ඇය පැවසුවාය.

සමහර පර්යේෂකයන් පවසන්නේ SARS-CoV-2 පළමු පරම්පරාවේ එන්නත්වලට සම්පූර්ණයෙන්ම ප්‍රතිරෝධී වන බවයි. තවමත් ප්‍රකාශයට පත්නොකළ හෝ සම-සමාලෝචනය නොකළ ජපානයේ අධ්‍යයනයකින් ඇඟවෙන්නේ එවැනි දේ නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන ගෝලීය දත්ත ගබඩාවක ඩෙල්ටා ප්‍රභේදයේ භයානක විය හැකි විකෘතිතා දැනටමත් හදුනාගෙන ඇති බවයි. වර්තමාන වික්‍රියා එන්නත් මඟින් බිඳදැමීම හෝ ඉහළ මරණ අනුපාත ඇතිකිරීම වැනි ත්ත්වයන් පිළිබඳ වාර්තා මෙතෙක් දැඩි පරීක්‍ෂණයට ලක් වී නොමැත.

ඉදිරි මාස කිහිපය තුළ තවත් දරුණු විය හැකි තත්වයන් අතරට නව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් හෝ වෙනත් කොරෝනා වයිරසයක් මතු වීම වියහැක්කක් බව ඔවුහු අනාවැකි පළකරති. එය සතුන්ගෙන් මිනිසුන් තුළට සම්ප්‍රේෂණය වීම සිදු වනු ඇත.

කොරෝනා වයිරසය සත්ත්වයන් අතර සුරැකිව පවතින තාක් කල් අනාගතයේදී තවත් සත්වෝද්යාන තුළින් කොරෝනා වයිරසයක් මතු වීමේ හැකියාව පවතී. ”මෙල්බර්න් හි පීටර් ඩොහර්ටි ආසාදන හා ප්‍රතිශක්තිකරණ ආයතනයේ, ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳ පර්යේෂණ හා පර්යේෂණ සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක කන්ටා සුබ්බාරෝ පැවසීය. ‘අලුතින් ප්‍රභේදයක් මතුවන විට තවත් එකක් තවමත් පසුබිමේ පවතිනු ඇත’ යැයි ඔහු පැවසීය.

පැහැදිලිව පෙනෙන දෙය නම් වසංගතය මාස හයකින් අවසන් නොවන බව යැයි මෙම විශේෂඥයන්ගේ අවසාන අනුමානයයි. සමහර විට ගෝලීය ජනගහනයෙන් 90% සිට 95% දක්වා ප්‍රතිශක්තිකරණ මට්ටමක් ලබා ගත් පසුව, වර්තමාන වසංගතය හීලෑ කරගත හැකි බව විද්වතුන් එකඟ වන කරුණයි. ඔවුන් කියන පරිදි ප්‍රධාන අංගය එන්නත විය යුතුයි.

“එන්නත ලබා නොගෙන යමෙකු හැමවිටම ගොදුර මෙන්ම වාහකයාද වේ. මෙම සරත් සෘතුවේ සහ ශීත ඍතුවේදී එනම් සැප්තැම්බර්-නොවැම්බර් සහ දෙසැම්බර්-පෙබරවාරි කාලයේදී වෛරසය පුළුල් ලෙස ව්‍යාප්ත වීම උදෙසා එවැනි එන්නත නොගත්තවවුන් සොයා ගනු ඇත,” මහාචාර්ය සිමොන්සන් පැවසීය.

බ්ලූම්බර්ග් වාර්තාවට අනුව ලොව පුරා එන්නත් මාත්‍රාවන් බිලියන 5.66 කට වඩා මේ වනවිට ලබා දී ඇත. නමුත් යුරෝපා සංගමය, උතුරු ඇමරිකාව සහ චීනය වැනි සමහර කලාපවල එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වුවද සමහර ප්‍රදේශවල අසාර්ථක ය. අප්‍රිකාවේ බොහෝ රටවල් සිය ජනගහනයෙන් 5% කටත් වඩා අඩු ප්‍රමාණයක් එන්නත් ලබා දී ඇත්තේ මාත්‍රා දෙකකින් යුත් එන්නතකින් පමණි. ඉන්දියාවේ ආවරණය වී ඇත්තේ 26%ක් පමණි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඉතිහාසය සහ වසංගතය පිළිබඳ සහකාර මහාචාර්යවරිය මෙන්ම වසංගතය අවසන් වන්නේ කෙසේද යන්න පිළිබඳ කරනු ලබන ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක එරිකා චාටර්ස් පැවසුවේ, පෙර වසංගත ඇති වූවාක් මෙන් වසංගතය විවිධ කාලවලදී විවිධ ස්ථාන වලින් අවසන් වන බවයි. තමන්ට කොපමණ රෝගයක් සමඟ ජීවත් වීමට පහසුද යන්න තීරණය කිරීමට රජයන්ට සිදු වන බව ඇය පැවසුවාය.

“එය වසර ගණනාවක් කල් පවතින උරුමයක් ලෙස ඉතිරි වනු ඇත. එතෙක් අපෙන් බොහෝ දෙනෙකුට වසංගතයේ ග්‍රහණයට තවත් මාස ගණනාවක් මුහුණ දීමට සිදු වනු ඇත.”

ඔස්ටර්හෝම් පැවසුවේ, ‘ඉදිරි දින කිහිපය තුළ හෝ ඉදිරි මාස කිහිපය තුළදී අපි කොවිඩ් වසංගතය අවසන් කරාවි යැයි සිතන ඕනෑම අයෙකු ගෙන ඇත්තේ වැරදි අවබෝධයකි’ ලෙසය.

14 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment