BREAKING NEWSEXPRESS RESEARCHසේයාරූ

Share now!

දකුණු ආසියාවේ අසල්වැසි රටවල් අතර වැඩිම මාර්ග මරණ අනුපාතය ඇත්තේ ශ්‍රී ලංකාවට බව ලෝක බැංකුව පවසයි.

එහි නවතම වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අධික මාර්ග අනතුරුවලින් සිදුවන මරණ සහ තුවාල අනුපාතය, දරිද්‍රතාවය අඩු කිරීම සහ සෞභාග්‍යය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පසුගිය දශකය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය හා ප්‍රගතිය අඩපණ කර ඇති බවය.

ලෝක බැංකුව විසින් ‘ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව 2030 දක්වා නායකත්ව ප්‍රමුඛතා සහ මුලපිරීම් ලබා දීම’ වාර්තාවේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික මාර්ග අනතුරු මරණ, ඉහළ ඒක පුද්ගල ආදායම් ලබන රටවල සාමාන්‍ය අනුපාතය මෙන් දෙගුණයක් වේ. එමෙන්ම මෙරට මාර්ග අනතුරු මරණ අනුපාතය, ලෝකයේ හොඳම ආර්ථිකය හසුරුවන රටවල අනුපාතයට මෙන් පස් ගුණයකින් වැඩි ය.

මාර්ග අනතුරු මරණ සහ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% අතර ප්‍රමාණයක් වැය විය හැකි බව එහි දැක්වේ.

පවතින දත්ත වලට අනුව මෙරට තුළ වාර්ෂිකව සාමාන්‍ය අනතුරු 38,000 ක් සිදුවන අතර එමඟින් 3,000 ක් පමණ මරණ සහ 8,000 බරපතල තුවාල සිදු වේ. ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලට ගොදුරු වූවන්ගෙන් තුනෙන් දෙකකට වඩා ඵලදායී, වැඩ කරන වයස අවුරුදු 15-64 අතර වැඩිහිටියන් ය.

දකුණු ආසියාවේ මාර්ග ආරක්ෂණ ආයෝජන පිළිබඳ මෑත කාලීන ලෝක බැංකු සමූහයේ (WBG) අධ්‍යයනයකින් හෙළි වූයේ වාහන හිමිකරුවන් සහ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිව අවදානමට ලක්විය හැකි, විවිධ ප්‍රමාණවලින් සහ වේගයන්ගෙන් යුත් මෝටර් රථ සහ මෝටර් නොවන ගමනාගමනවල ශීඝ්‍ර වර්ධනය නිසා මෙම අර්බුදය උග්‍ර වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වාහන හිමිකම කලාපීය ප්‍රමිතීන්ට අනුව දැනටමත් ඉහළ මට්ටමක පවතින අතර 2011 සහ 2018 අතර එය සියයට 67 කින් වර්ධනය වී ඇත.

මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, අපේක්ෂා කළ පරිදි, හදිසි අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක නොකළහොත්, හදිසි අනතුරු මරණ සහ තුවාල ලැබීම් ද ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම, රටේ සෞඛ්‍ය, යහපැවැත්ම සහ ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ.

Bloomberg Philanthropies හි අරමුදල් ඇතිව ලෝක බැංකු සමූහය (WBG) විසින් සිදු කරන ලද විශ්ලේෂණාත්මක කටයුතුවලදී පෙන්නුම් කරන පරිදි, කාලයත් සමඟ හදිසි අනතුරු මරණ හා තුවාල සංඛ්‍යාව තියුණු ලෙස අඩු කිරීම, ශ්‍රී ලංකාව වැනි රටවලට ආර්ථික වර්ධනයේ සහ ජාතික ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් ලබා ගැනීමට හැකි වේ.

එමෙන්ම විශාල ජනගහන සුබසාධන ජයග්‍රහණ ලබා ගැනීමට ද එය හේතුව‍නු ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි. මෙමගින් අකර්මන්‍යතාවය හා බැඳුනු ආර්ථික පාඩු පිළිබඳව ද අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ දුර්වල මාර්ග ආරක්ෂණය, ඉලක්කගත මුලපිරීම් සඳහා අඩු ආයෝජනයේ ලක්ෂණ ය. තිරසාර සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉදිරි දශකය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2 ක පමණ අමතර ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.

මෙරට මාර්ග අනතුරු මරණ සියයට 50කින් අඩු කිරීමේ ඉලක්කය උදෙසා ශ්‍රී ලංකා රජයෙන් දිගුකාලීන කැපවීමක් සහ තිරසාර දැක්මක් අවශ්‍ය වන බව ද ලෝක බැංකු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ සියලුම මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා යටිතල පහසුකම් ආරක්ෂණ සැලසුම් කුසලතා සහ මෙවලම් ශක්තිමත් කිරීම අවශ්‍ය බව ලෝක බැංකුව අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ වත්මන් ගෝලීය සැලැස්මෙහි දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂණ කාර්ය සාධනය කුළුණු පහක් හරහා ලබා ඇති ප්‍රගතිය අනුව සමාලෝචනය කෙරේ.

මෙම ආයෝජනය ඵලදායී වීමට සහ තිරසාර පදනමක් මත මාර්ග ආරක්ෂණ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජයෙන් දිගුකාලීන කැපවීමක් සහ තිරසාර දැක්මක් අවශ්‍ය බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.

* සියලුම මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහ පාර අයිනේ ප්‍රජාවන් ඇතුළත් කිරීම සහතික කිරීම සඳහා ආරක්ෂිත යටිතල පහසුකම් සැලසුම් ශක්තිමත් කිරීම.
* නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නියාමන බලධාරීන්ට ප්‍රවේශ විය හැකි ශක්තිමත් වාහන සහ රියදුරු බලපත්‍ර පද්ධති ස්ථාපිත කිරීම.
* නාගරික සහ ග්‍රාමීය මාර්ග සියලු මාර්ග භාවිතා කරන්නන් සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා ඇතුළත් මාර්ග පරිශීලක ප්‍රතිපත්ති සහ ඒකාබද්ධ ඉඩම් පරිහරණය/ප්‍රවාහන සැලසුම්කරණයට පහසුකම් සැලසීම.
* යටිතල පහසුකම්, වාහන සහ මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු ආමන්ත්‍රණය කරන සියලුම සැලසුම් සහ ප්‍රතිපත්ති සලකා බැලීම්වලදී වේග කළමනාකරණයට ප්‍රමුඛත්වය දීම.

මෙරට තුළ ජාතික මාර්ග ආරක්‍ෂාව පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීමට යෝජිතව තිබේ. ජාතික මාර්ග අනතුරු පිළිබඳ දත්ත ගබඩාවක් පිහිටුවීමට ද කටයුතු කරමින් පවතී. රජයේ ක්‍රියාමාර්ගවල සාධනීය ලකුණු මෙලෙස මතුවෙමින් තිබීම නිසා මෙම යෝජිත ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ තිරසාර මාර්ග ආරක්ෂාව සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සඳහා මග පාදනු ඇත.

කෙසේවෙතත් අවසන් වසර කිහිපය වනවිට පැවති තත්ත්වය අනුව අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය යන රටවල් කිහිපයක් සමඟ මාර්ග ආරක්ෂණය, ඒ හා සම්බන්ධ පියවර හා රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ පහත පරිදි ආකාර කිහිපයකින් සංසන්දනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment