විශේෂාංග

Share now!

T20 ලෝක කුසලානයේ Black Lives Matter ආචාරය නිසා වූ හුටපටයත්, නැමීබියානු ක්‍රිකට් කණ්ඩායම නිසා නැමීබියාව ගැන බුකියේ ඇතිවූ උනන්දුවත් දැක යමක් ලිවීමට  අවශ්‍ය වුවත් ඊට නිදහසක් හමුවූයේ අදය.

සුදු ජාතිකයින්ගෙන් සැදි නැමීබියානු ක්‍රිකට් කණ්ඩායම දුටු මා මදකට කන්ෆියුස් වී ගියේ එය අප්‍රිකානු රටක් ලෙස මතක තිබුණු නිසාය. ගූගල් කර බැලීමේදී එහි අදට වෙසෙන කළු ජාතික ප්‍රතිශතය 90%ට ආසන්නය. සුදු ජාතිකයින් ඇත්තේ 6%කි.

නැමීබියාව ගැන තිබූ අනෙක් මා සිත්ගත් ප්‍රවෘත්තිය වූයේ ජර්මනියේ යටත්විජිතයක්ව තිබූ නැමීබියාවේ සිදුවූ ජන සංහාරය පිළිබඳව ජර්මනිය මෑතකදී ඔවුන්ගෙන් සමාව අයැද ඉදිරි අවුරුදු තිහක කාලය තුළ යුරෝ බිලියනයක ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වූ බවත් එය ආදිවාසී නායකතුමා ප්‍රතික්ෂේප කළ බවත් ය.

ජර්මනිය තම මුතුන්මිත්තන්ගේ ජීවිතවලට දුන් අගය ගැන ඔහු කළකිරීමෙන් කතාකළ බව වාර්තාවී තිබිණි. ඔබට මට නම් යුරෝ බිලියනයක් යනු විශාල මුදලකි. ජර්මනියට මෙම මුදල දැනෙන ආකාරය දැනගැනීමට ඔවුන්ගේ සුප්‍රසිද්ධ ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවයේ ආදායම සොයාබැලීමට මට සිතක් පහළ විය. ඔවුන් 2020දී, එම සති තුන ඇතුළත බියර් විකුණා පමණක් සෙවූ ආදායම යුරෝ මිලියන 75ක් බව වාර්තා වී තිබිණි… ඔව්… ඔවුනට නැමීබියානු ආදිවාසී කළු ජීවිතවල වටිනාකම එයය… ආදිවාසී නායකතුමාට ආ දුක සහා කේන්තිය සාධාරණ ය.

මම කිසිදිනක නැමීබියාවට ගොස් නැත්තෙමි. එහෙත් එහි අල්ලපු වැටේ ඇති දකුණු අප්‍රිකාවට ගොස් ඇත්තෙමි. පහත රූපයේ ඇති “Cape Wheel” එක දුටුවිට ඔබට දකුණු අප්‍රිකාව අති දියුණු, සුඛෝපභෝගි දේවලින් සපිරි රටක් වැනි අදහසක් ලැබෙන බව නොඅනුමානය.

May be an image of outdoors

 

දකුණු අප්‍රිකාවේ ගුවන් තොටුපොළට පා තැබූ මටත් එලෙසම සිතිණි. ඒ සිතුවිල්ල ක්ෂණයකින් නැතිවී ගියේ ගුවන් තොටුපොළින් පිටතට අඩිය තැබූ පමණින් අප වට කරගත් කළු ජාතික කුළී රථ රියදුරන්ගේ ක්‍රියාකලාපය නිසාය. ඉන්දියාවේදීවත් මට එවැනි හැඟීමක් ඇතිවී නැත.

ඔවුන්ගේ හැසිරීමට අප සාමාන්‍ය වහරේ භාවිතා කරන කළු පැහැති කුරුල්ලාගේ නම භාවිතා කර ඔවුනට අපහාසකිරීමට මට සිත් නොදෙන්නේ ඔවුන්ගේ ජීවන අරගලය මා දෑසින් දුටු නිසාය.
ඇත්තෙන්ම මා එහි ගතකළ සතියක පමණ කාලය පුරාවට මා සුර ලොවත්, අපායත් එක විට දැකගතිමි. මා මහා රටවල් ගණනකට සංචාරය කර නැතත් ඉන්දියාව, චීනය ඇතුළු විවිධ කලාපවල විවිධ ආර්ථික මට්ටම්වල, විවිධ දේශපාලනකි පසුබිම්වල රටවල් කිහිපයකට ගොස් ඇත්තෙමි.

එහෙත් මේ සා පුළුල් ඇති නැති පරතරයක්, සමාජ විශමතාවක්, ඇස් පනාපිට දැක, අත්දැක, නැත්තෙමි.

මා ඒ ගැන එක් උදාහරණයක් දැක්වුවොත් යුරෝපා රටවල ඇති පොෂ්, සුඛෝපභෝගී බස් රථ සේවයක් දකුණු අප්‍රිකාවේද ඇත. ඒ බස් ටිකට් සාමාන්‍යයෙන් යුරෝපා රටක ටිකට් එකකට වඩා මදක් අඩු මිලකි.

පළමු දින උදෑසන අප බසයක් එනතුරු බස් හෝල්ට් එකේ සිටින විට අපට මදක් එහාට වන්නට කළු ජාතිකයින් පිරිසක් රැකියාවලට යාමට බසයක් එනතුරු මෙන් රැඳී සිටිනු දුටුවෙමි.

ඔවුන් බස් හෝල්ට් එකේ රැඳී නොසිට ඈතින් සිටින්නේ මන්දැයි මා කල්පනා කරන විට එතැනට පැමිණියේ මීට අවුරුදු තිහකට පමණ පෙර ලංකාවේ අර්ධ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහනයේ යෙදුණු “පාන් භාග” වෑන් රථයකි. පොදි කකා එයට ගොඩවූ ඔවුන් රැගත් එම “කළු ජාතික ස්පෙෂල් බස් රථය” නික්ම ගියේ ඒ තුළ සිටගෙන යෑමටත් මගීන් පටවාගෙනය.

මේ 2018 වර්ෂයේදීය. අර පොෂ් බස් රථවලද කළු ජාතිකයින්ද ගමන් ගන්නෝය. හැබැයි ඒවායේ වැඩිපුර ගමන් ගන්නේ සුදු ජාතිකයින් ය.

දකුණු අප්‍රිකාවේ 80%කට වඩා සිටින්නෙ කළු ජාතිකයින් වුවද, එම බස් මගීන් ගෙන් ඔවුන් සිටියේ 10%ක් පමණය. (ඔව්.. හරියටම දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ය). අර පාන් බාග වෑන්වල යන්නේ 100%ක් කළු ජාතිකයින් ය. ඇත්තෙන්ම එය විස්මයජනකය. දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයින් අපිට දශකයක් පමණ ඉදිරියෙන් සිටියදී, එම රටේම කළු ජාතිකයින් සිටින්නේ අපට වඩා දශක තුනක් පමණ පසුපසිනි… අවසාන ලෙස ඔවුන්ගෙන්ම රටේ වැසියන් කොටසකට වඩා වසර හතළිහක පමණ පිටුපසිනි.

ඇත්තෙන්ම දකුණු අප්‍රිකාව තුළ මා විඳි අනාරක්ෂිත හැඟීම මා ගිය කිසිදු රටක විඳ නැත. මහ දවාලේ මාල කැඩීම, ගමන් මළු සොරාගැනීම, පිහි පෙන්වා බිය ගැන්වීම, මහ මග වෙඩිතියාගැනීම වැනි සිදුවීම් කීපයකටම මැදිවීමට ඒ දින කිහිපය තුළ අපට සිදුවිය.

මේ සියලු සිදුවීම්වල කතානායකයින් කළු ජාතිකයින් ය. ඊට අමතරව කළු ජාතික ළමා සේවකයින්ද, මහ මග රඟ දක්වා මුදල් උපයන කළු ජාතික ළමා නැටුම් කණ්ඩායම්ද, අධිආරක්ෂා කලාපයකවත් නැති ආරක්ෂාවක් සපයා ඇති කළු ජාතිකයින් පවත්වාගෙන යන උකස් කඩද, තුවක්කු ඉණේ ගසා ගෙන දුම් උරමින් ඇවිදින කළු ජාතික ගැටවර රංචුද දිටිමි. මේ සියල්ල සමාජ විශමතාවල නියත ප්‍රතිඵල බව ඔබ මාත් සමඟ එකඟවනු ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයා කළු ජාතික ආචාරය (පළමුව Black Lives Matter salute ලෙස හැඳිවූ එහි නිවැරදි පරිවර්තනයක් මා දුටුවේ නැති බැවින් බහුලව එය හැඳින්වෙන ආකාරය භාවිතා කරමි) පැවැත්වීමට ප්‍රතික්ෂේප කළ සත්‍ය හේතුව මා නොදනිමි. ඔහු එය ප්‍රතික්ෂේප කළේ ක්‍රිකට් පිටිය මැද සිදුකරනා එම ආචාරය දකුණු අප්‍රිකාවේ ජීවිත්වෙන ඔහුට විහිලුවක් ලෙස පෙනෙන නිසා නම් මා ඇත්තෙන්ම ඔහු සමඟ එකඟවෙමි.

ක්‍රිකට් පිටිය මැද දණගසා ආචාර කිරීම ඇත්තෙන්ම ජර්මනිය නැමීබියාවට ලබාදුන් වන්දිය තරම්වත් මේ ප්‍රශ්නයට විසඳුමක් වන්නේ කෙසේදැයි මා හට නොතේරේ. ඇත්තටම මට එය වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රය නොහොත් ස්පෝට්ස් ඉන්ඩස්ට්‍රිය ක්‍රීඩකයින් සහා ප්‍රේක්ෂකයින් යන දෙපිරිසම අන්දන ආකාරය ගැන තවත් එක් උදාහරණයක් පමණි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේදීවත් කළු ජාතිකයින්ට සම තැන ලබාදීමට, ඔවුනගේ ගමන පහසුකිරීමට, ඔවුනට රුකුලක් වීමට උදව් නොවී ජාත්‍යන්තර තරඟාවලි පුරා දණ නමමින් ආචාරය දැක්වීමට ඇත්තෙන්ම කළු ජාතිකයින් නොරැවටෙන බවට විශ්වාස ය.

මේ බලය ඇති, ධනය ඇති, තරු පන්තියේ මනුස්සයින් (ජනප්‍රිය ක්‍රීඩාවන්හී යෙදෙන වෘත්තීය ක්‍රීඩකයින් බහුතරයක් මේ පන්තියට අයත් ය) තමන් ලෝකෙට හොඳක් කරනා බව තමන්වම රවටාගැනීමට යොදාගත් උපක්‍රමයක් ලෙස මට සිතේ… ඒ ඔවුන්ගේ ධනය, බලය සහා සුප්‍රසිද්ධිය ඒ සඳහා ඇත්තටම යමක් කිරීමට ලේසියෙන් ඉඩ සළසා දී තිබියදී ය… සුපුරුදු ලෙස මාගේ ඒ පුද්ගලික මතය සමඟ ඔබ එකඟවිය යුතු නැත… ඔබටම සිතා බලා ඒ ගැන නිගමනයකට පැමිණීමට පුළුවන…

 මනුජා පෙරේරා  ( ප්‍රජා වෛද්‍ය විශේෂඥ )

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment