විශේෂාංග

Share now!

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනකු පමණක් එහි උපාධි කෝළම බහු රූ කෝළමක් බවට පත් කර තියෙනවා. ඔවුන්ට කුලපති හාමුදුරුවන්ගෙන් උපාධි ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ. ඔවුන් එසේ කරලත් නැහැ. මට තේරෙන විධියට අර ලෝගුව අස්සේ බම්බු ගෙනා අයට උපාධිය හිමිවන්නේ නැහැ.

උපාධි ප්‍රදානොත්සවයක් කියන්නෙ කෝළමක්. ලෝගු ඇඳගෙන පෙරහැරේ ඇවිදින් සහතිකයක් ලබා ගෙන ඡායාරූප ලබා ගැනීම තමයි එහි දී කෙරෙන්නේ. මේ සඳහා වැය වෙන මුදල් භාණ්ඩාගාරයට ම ආපහු යවන එක හොඳයි. අද මුදල් අමාත්‍යාංශයේ ලේකම් කොළඹ විශ්වවිිද්‍යාලයේ ගණිත විශේෂ උපාධිධාරියෙක්. ඔහුට මුදල් අවශ්‍යයි. ඔහු උපාධි කෝළමේ හිටිය ද කියන්න මා දන්නේ නැහැ. හිටිය නම් මට කියන්න තියෙන්නෙ අපරාදෙ සල්ලි කියල විතරයි. උපාධි කෝළමට ඉංගිරිසියෙන් කියන්නෙ convocation කියල. එය con vocation කියල ලිවුවොත් ඉන් බොහෝ දේ ගම්‍ය වෙන්න පුළුවන්.

අපි 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙ උපාධි කෝළමට අදාළ වගන්ති ටිකක් සලකා බලමු. එහි 32 වගන්තිය මෙසේයි.

32. The President shall nominate the Chancellor of each University. The Chancellor shall be the Head of the University, hold office for a period of five years reckoned from the date of his nomination, and shall, preside at any Convocation of the University.

මේ අනුව කුලපති නම්කෙරෙන්නේ ජනාධිපති විසින්. කුලපති තමයි විශ්වවිිද්‍යාලෙ ප්‍රධානියා. ඔහු අවුරුදු පහකට තනතුර උසුලන අතර ඕනෑම උපාධි ප්‍රදානොත්සවයක මුලසුන දැරිය යුතුයි. මේ වගන්තිය අනුව වෙන කිසිවකුට උපාධි ප්‍රදානොත්සවයක මුලසුන දැරිය නොහැකි ය. එහෙත් 53 වැනි වගන්තියෙන් වෙනත් දෙයක් කියැවෙනවා. මා එයත් සඳහන් කරන්නම්.

53
A University shall hold once in every year on such date or dates as may be approved by the Chancellor, a Convocation for the purpose of conferring degrees:
Provided that, a University may hold a Special Convocation at such other time as the Chancellor may determine:
Provided further that, first degrees may be conferred without the holding of a Convocation.
The Procedure of a Convocation shall be prescribed by By-law.
The President shall, when present, preside at a Convocation. In his absence, the Chancellor shall preside at such Convocation, and in the absence of both the President and the Chancellor, the Vice-Chancellor shall so preside.

ඒ අනුව උපාධි ප්‍රදානය කිරීම සඳහා කුලපති අනුමත කරන දිනයක දී හෝ දිනවල දී හෝ උපාධි ප්‍රදානෙත්සවයක් අවුරුද්දකට වරක් පවත්වන්න ඕන. උපාධි ප්‍රදානොත්සවයක ජනාධිපති ඉන්නව නම් ඔහු මුලසුන දරන්න ඕන. ජනාධිපතිත් කුලපතිත් නැති විට උප කුලපති මුලසුන දර්න ඕන. 32 හා 53 වගන්ති එක් කරල මීට වඩා සංගත ආකාරයකට එය කියන්න තිබුණා. පනත කෙටුම්පත් කළ අය අට සමත් අයකු කියා මා හිතන්නෙ නැහැ. ජනාධිපති තම දරුවකුගෙ උපාධි ප්‍රදානොත්සවයකට පැමිණ ඉන්නව නම් මුලසුන දැරිය යුතු ද? ඒකත් ටිකක් පැහැදිලි වුණා නම් හොඳයි.

අපි කොයි එකටත් උප කුලපති පත් කිරීම සම්බන්ධ වගන්තියත් සලකා බලමු.
34 (1) (a) The Vice-Chancellor of a University shall, subject to the provisions of paragraph (b), be appointed for a term of three years by the President, upon the recommendation of the Commission, from a panel of three names recommended by the Council of that University.

උප කුලපති පත් කරන්නෙත් ජනාධිපති විසින්. විශ්වවිිද්‍යාලයෙ පාලක මණ්ඩලය විසින් නිර්දේශ කෙරෙන නම් තුනකින් එක් අයකු උප කුලපති ලෙස පත් කෙරෙනවා. ඒ නම් තුනෙන් එක් අයකුවත් පත් නොකරපු අවස්ථා තියෙන බවත් මතක් කර ගන්න ඕන. කුලපති මෙන් ම උප කුලපතිත් දේශපාලන පත්වීම්. අග්නිදිග විශ්වවිිද්‍යාලෙ උප කුලපති පත් කෙරිල තියෙන්නෙ වහාබ්වාදී අවශ්‍යතා මත. මා දන්නා හඳුනන අයකුත් එහි කලක් උප කුලපති වුණා. ඔහු අපට වටලප්පම් නම් ගෙනත් දුන්නා.

මූරුත්තෙට්ටුවෙ හිමියන් කුලපති ලෙස පත් කිරීම මෙන් ම ඔස්වලඩ් ගෝමිස් පූජකවරයා කුලපති ලෙස පත් කිරීමත් දේශපාලන පත් කිරීම්. ඇතැම් සිසුන් කුමක් කීවත් ඔවුන්ගෙ ප්‍රශ්නය ඊනියා උගත් කම පිළිබඳ ප්‍රශ්නයක්. හාමුදුුරුවන් අටවැනි පන්තිය සමත් ද කියා මා දන්නේ නැහැ. එහෙත් ඔය ඊනියා විප්ලවවාදී සිසුන්ටත් අට පාස් ප්‍රශ්නය තදින් බලපානවා. ඔවුන් පොලිස් භටයන් හමුදා භටයන් හඳුන්වන්නෙ අට පාස් අය හැටියට. ඔය විප්ලවවාදී සිසුන් මොන කතා කිවුවත් ඔවුන්ගෙ කසිකබල් අධ්‍යාපනය ගැන ආඩම්බර වෙනවා.

ඒ පුහු මාන්නය තමයි ඔය විරෝධයේ පසු බිම. ඒ අය හිතන්නෙ තමන් මහන්සි වෙලා ඉගෙන ගෙන පැමිණි විශ්වවිද්‍යාලයෙ ප්‍රධානියා ඊනියා උගතකු වෙන්න ඕන කියා. මා මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන් හොඳින් දන්නවා. ඒ හාමුදුරුවන් අට පාස් ද කියල මා කිසි දිනෙක අහල නැහැ. මා ඔය උගත් ආචාර්ය මහාචාර්යවරුන් ද දන්නවා. මා දන්නවා මුරුත්තේට්ටුවෙ හාමුදුරුවන්ට බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා දැනුමක් තේරුමක් තියෙන බව. අර අට පාස් රණවිරුවන්ටත් තියෙනවා.

විශ්වවිිද්‍යාල උපාධියක් කියන්නෙ මහා දෙයක් නො වෙයි. මා නම් ලංකා විශ්වවිද්‍යාලයෙදි කිසිම දෙයක් ඉගෙන ගත්තෙ නැහැ. පාසලේ දී නම් මා බොහෝ දේ ඉගෙන ගත්තා. පසුව සසෙක්ස් විශ්වවිිශ්වවිිද්‍යාලෙදිත් යම් යම් දේ ඉගෙන ගත්තා. ඒත් ලංකා විශ්වවිිද්‍යාලෙන් ඉගෙන ගත්ත දෙයක් නැහැ. උපාධිය ගන්න කට්ට කන්න ඕන කියනවා. මා නම් කාපු කට්ටක් නැහැ. ඒ අවුරුදු හතර මට සිහි වෙන්නෙ මිතුරන් සමග ගත කරපු ජීවිතය නිසා මිස ඉගෙන ගත් දෙයක් නිසා නො වෙයි.

සිසුන් විශ්වවිද්‍යාලෙට එන්නෙත් ඉගෙන ගන්න නොවෙයි. විභාග සමත් වෙලා උපාධිය ගන්න. මා ගුරුවරයකු වූ පසු සිසුන්ට යමක් උගන්වන්න උත්සාහ කළා. එහෙත් ඔවුන් එයට අකමැති වුණා. බොහෝ ගුරුවරුත් අකමැති වුණා. ජී එල් පීරිස් මා උගන්වන්නෙ නැහැ කියන පදනමෙ හිටියෙ. ඔහුට මා අස් කිරීමට ලෙකු වුවමනාවක් තිබුණා. ඔහු මගේ වැඩ තහනම අනුමත කර ගැනීමට පාලක මණ්ඩලය සතියක් ඇතුළත දෙවරක් කැඳෙවුවා. සාමාන්‍යයෙන් පාලක මණ්ඩලය රැස්වෙන්නෙ මසකට එක් වතාවයි.

ඊයෙ පෙරේදා උපාධි ප්‍රදානොත්සවයට ගිය නීති උපාධිලාභීන්වත් විශ්වවිද්‍යාල පනත කියවල තියෙනව කියා මා හිතන්නෙ නැහැ. ඔවුන් එය කියවා තිබුණ නම් ඔය විධියට වැඩ කරන්නෙ නැහැ. උපාධිය කසිකබල් වුණත් එය ලබා ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. සිසුන් අදාළ පාඨමාලාවල ලියා පදිංචි වෙන්න ඕන. පරීක්‍ෂණවලට පෙනී සිිට සමත් වෙන්න ඕන. එය නම් එතරම් දෙයක් නො වෙයි. පාලක මණ්ඩලය සනාතන සභාව නිර්දේශ කරන පරීක්‍ෂක ලැයිස්තු අනුමත කරන්න ඕන. පරීක්‍ෂණවලින් සමත් වීමෙන් පසු අවශ්‍යතා සපුරාලී නම් සනාතන සභාව උපාධිය නිර්දේශ කරන්න ඕන. පාලක මණ්ඩලය එය අනුමත කරන්න ඕන. ඉන් පසු පාලක මණ්ඩලය අනුමත කරන ආකාරයට අභිමුඛයේ හරි අනභිමුඛයේ හරිි උපාධි සහතිකය ලබා ගන්න ඕන. මේ ක්‍රියාවලිය ඉතා සංක්‍ෂිප්ත ව ඉදිරිපත් කෙළෙ. එය වඩා සංකීර්ණයි.

බොහෝ දෙනා නොදන්නවාට උපාධි කෝළමේ දි ලැබෙන්න හිස් මංජුසාවක් පමණයි. නැත්නම් හිස් බම්බුවක් පමණයි. මා හිතනවා ඉන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ම සංකේතවත් වෙනවා කියලා. ඒ වුණත් හිස් බම්බුවෙන් සංකේතවත් වන්නෙ උපාධි සහතිකය. අභිමුඛයේ උපාධි ලබා ගන්න අය මේ හිස් බම්බුව කුලපති අතින් හරි නියෝජිතයකු අතින් හරි ලබා ගන්න ඕන. ජනාධිපති හිටියොත් ඔහුගෙ අතින් ද කියන එක පැහැදිලි නැහැ. ඒ කුමක් වුණත් විශ්වවිද්‍යාලෙ ප්‍රධානියා කුලපති. කුලපතිගෙ අතින් හරි කුලපතිගෙ නියෝජිතයකු අතින් හරි බම්බුව ගන්න ඕන.

සමහර උපාධිධාරීන් හාමුදුරුවන්ගෙ අතින් ගන්නෙ නැතුව උප කුලපතිනියගෙන් බම්බුව ගත්තා. උප කුලපතිනිය එහි දී ක්‍රියා කෙළෙ කුුලපතිගෙ නියෝජිතයා හැටියට. ඔය උප කුලපතිනියවත් වේදිකාවෙ හිටපු ආචාර්ය මහාචාරයවරූවත් දැනුමට අලුතෙන් යමක් එකතු කළ අය නො වෙයි. ඔවුන්ට පත්‍රිකා ඇති. ඒත් එකතු කළ සංකල්පයක් කතන්දරයක් නැහැ. ඒ කුමක් වුවත් උප කුලපතිනිය බම්බුව දුන්නෙ හාමුදුරුවන්ගෙන් අරගෙන. ඉන් හාමුදුරුවන් ප්‍රතික්‍ෂෙප වන්නේ නැහැ. ඒ උපාධිලාභීන්ට උපාධියත් හිමි වෙනවා. බම්බුව නෙ උපාධිය.

ඒත් අර කිහිප දෙනකු හිටිය බම්බුවක් ලෝගුව ඇතුළෙ දාගෙන ඇවිත් බමබුව එළියට අරන් උප කුලපතිනිය ළඟට ගිහින් පින්තුරයක් අරගෙන බම්බුවත් සමග බැහැල ගිය අය. ඔවුන් බම්බුව කොහෙන් ගෙනාවත් එය විශ්වවිද්‍යාලයෙන් දුන්නු බම්බුවක් නො වෙයි. ඒ නිසා ඔවුන්ට විශ්වවිද්‍යාලයෙන් ලැබුණු උපාධි සහතිකයක් නැහැ. මේ අයට සහතිකයක් ලබා ගන්න බැහැ. බම්බුව ලැබුණෙ කාගෙ අතින් වුණත් විශ්වවිද්‍යාලෙ බම්බුවක් ලබා ගත් අයට පමණයි උපාධි සහතිකය ලැබෙන්නෙ. ගෙදරින් බම්බු ගෙනැල්ල කැමරාවට බම්බුව පෙන්නල බැහැල ගිය අයට, විශ්වවිද්‍යාලෙ බම්බුවක් නැත්නම් එයින් සංකේතවත් වුණු උපාධි සහතිකය ඔවුන්ට හිමි නැහැ. ඔවුන්ට ගෙදරින් ම සහතිකයක් ලබා ගන්න පුළුවන්.

උපාධිය ගැන තියෙන පුහු මාන්නෙ තමයි මේ සියල්ලට මුල. ඇතැමුනට විශ්වවිිද්‍යාලෙ ප්‍රධානියා වෙන්න ඕනෙ උගතෙක්. ඒ කියන්නෙ කසිකබල් සහතික ලත් උගතෙක්. සහතික ලත් උගතුන් තමයි අද රාජ්‍ය නිලධාරීන්. ඔවුන් අවුරුදු හැත්තැවක් තිස්සෙ කළ කී දේවල ප්‍රතිඵලත් අද අපි භූක්ති විඳිනවා. එයට දේශපාලනඥයන්ට විතරක් වරද පටවන්න බැහැ. සහතික ලත් උගතුන්ට රටේ අනවශ්‍ය තැනක් ලැබිලා.

මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන්ට සහතික නැතුව ඇති. ඒත් උන්වහන්සේට දැනුමක් තේරුමක් තියෙනවා. මා ජනාධිපති නම් කුලපතිවරුන් වශයෙන් පත් කරන්නෙ දැනුම් තේරුම් ඇති අය මිස සහතික ලත් උගතුන් නො වෙයි. අට පාස් රණවිරුවන් ද පත් කරනවා. ඔය ආචාර්ය මහාචර්යවරුන්ගෙන් නොව ඔවුන්ගෙන් රටට සේවයක් සිදු වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවලින් බිහි වෙන්න ඕන දැනුමක් තේරුමක් ඇති නිර්මාණශීලී අය මිස අර පොතේ එහෙම තියෙනව මේ පොතේ මෙහෙම තියනව කියන්න පුළුවන් දත්ත ගබඩා නො වෙයි.

 

සටහන – මහාචාර්ය නලින් ද සිල්වා