විශේෂාංග

Share now!

කාලයක සිට ලිවීමට සිතා සිටි කතාවක් ඉදිරියට එන නිවාඩු දවස් සැමරීම පිණිස ලියා තැබීමට සිතුවෙමි. (නැත මේ අපේ රටේ ඇති අනර්ඝ මහජන නිවාඩු දින ක්රමය ගැන නොවේ ය 🤭)
මා පෙර විස්තර කර ඇති පරිදි මාගේ පශ්චාත් උපාධිය සඳහා රජයේ ශිෂ්යත්වයකින් එක්සත් රාජධානියේ වසරක් ගත කළෙමි. නොදන්නා රටක, කාත් කවුරුවත් නොහඳුනන පළාතක තනිවම සිටීමට බය වී විශ්ව විද්යාලයේ විදෙස් සිසුන් සඳහා වන හොස්ටල් එකේ මුල් මාස දෙකේ නැවතී සිටියද වියදම අධික නිසා මාගේ අංශයේම සිටි පශ්චාත් උපාධිය හදාරන ශිෂ්යයයෙකුගේ බෝඩිමකට මාරු වුනෙමි. (එසේය… එහෙත් බෝඩිම් ඇත.. තනියම සිටින මහළු කාන්තාවක් තම නිවසේ කාමර කුළියට දී පවත්වාගෙන ගිය ඒ බෝඩිම වෙනමම පෝස්ට් එකක් ලිවීමට වටින එකකි 🤭).
එක් දිනක උදෑසනම බෝඩිමේ සිටි මාගේ මිතුරා මට කෙටි පණිවිඩයක් එවන්නේ “මා ලේ වමනෙ කළා.. මන් මැරෙන්න යන්නෙ… ඔබට ඇම්බියුලන්ස් එකකට කතාකරන්න පුළුවන්ද?” කියා ය. පට්ට සීතලේ හීන් දාඩිය දැමූ මා සිද්දිය විමසා බැලීමේදී ඔහු පෙරදින තිබූ ඉරුවාරද තත්වය සඳහා වේදනා නාශක ලබාගෙන ඇති බවත්, බොහෝවිට සිදුවීමට ඇත්තේ එයින් ඔහුගේ ආමාශයේ සුළු තුවාල ඇතිවී, වමනය කරන විට දුඹුරු පැහැයට රුධිරය සුළු ප්රමාණයක් පිටවීම බවත් මට පැහැදිළි විය. එහෙත් ඒ රටේ වැඩි වැඩ දැමීමට ගොස් අපවාදයකට ලක් නොවනු පිණිස ඔහුගේ අභිමතය පරිදි රෝහලකට කතාකිරීමට මා තීරණය කළෙමි.
More patients placed in mixed-sex wards in England - BBC News
ඒ රටේ මින් පෙර එවැනි දෙයක් සිදුකර නැති මා අප දෙදෙනාගේම මහචාර්යතුමියට ඇමතුමක් ගෙන ඇගේ උපදෙස් පරිදි හදිසි ඇමතුම් අංශය ඇමතීමි. මට ජීවිතේට අමතක නොවන ඒ රසවත් සිදුවීම් දාමය ඇරඹුණේ එතැනනි. ඔබටද සිද්දිය රසවිඳීම පිණිස වෙලාවන් සමඟම ලියා තබමි.
උදේ 6.30ට පමණ – මා හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ගෙන විනාඩි 20ක් පමණ waiting සිටියෙමි. ඉන්පසු මාගේ විදේශීය accent එකෙන් උදේ පාන්දර සිද්දිය පැහැදිළි කිරීම ඉවසීම අමාරු නිසාදෝ පිළිතුරු දුන් අක්කා ඉතා සැරෙන් “රෝගියාට කතාකිරීමට පුළුවන් නම් කරුණාකර ඔහුට දුරකථනය ලබාදෙන්න” යැයි මට අණ කළාය.
ඉතින් ඊයේ රෑ සිට වමනෙ ගොස් පාන් කියාගන්නවත් බැරුව සිටි මාගේ මිතුරා විනාඩි 20ක් පමණ ඇයගේ ප්රශ්න පත්තරයකටම උත්තර දී යාන්තම් උදේ 9.30ට රෝහලක භාහිර රෝගී අංශයක් වෙත යෑමට වෙලාවක් ලබාගත්තේ ය. (ස්කොට්ලන්ත ජාතික ඔහුට වැඩිම වෙලාවක් ගියේ ඔහු නොමිලේ එම සේවාව ලබාගැනීමට හිමිකම් ලාභියෙකු බව ඇයට තහවුරු කිරීමට ය)
උදේ 9.00ට පමණ අපගේ මහචාර්යතුමිය අප දෙදෙනාව අදාළ රෝහලෙන් බැස්සවී ය. (ඇයට යෑමට වැදගත් මීටිමක් තිබූ බැවින් මාව ඔහුගේ තනියට යැව්වා මිසක නැත්නම් ඇය අපව ඉතා ආදරෙන්, වගකීමෙන් එහිදී රැකබලා ගත්තා ය). අප යනවිට OPD එක හිස් ය. එහෙත් අපගේ වෙලාව 9.30 බැවින් ඒ වනතුරු රැඳී සිටින ලෙස හෙද නිළධාරිණියක් පැවසීය.
Covid: 'We're not looking forward to doing it all again' - BBC News
හරියටම 9.30ට වෙනත් නිළධාරිණියක් මිතුරාගේ සායනික විස්තර ලබාගෙන, උණ බලා ලකුණු කර, 9.45ට පමණ වෛද්යවරයකු වෙත යොමුකළාය. මාගේ මිතුරාගේ රෝගය සහා ප්රතිකාර තීරණය කිරීමට මා හට ගියේ විනාඩි 3 ක් පමණ වුවද එංගලන්තෙ දොස්තරලා පිළිවෙලට වැඩකරන නිසාදෝ ඔහු පැය භාගයක් ඒ වෙනුවෙන් වැය කළේ ය. ඉන්පසු අපව නැවතත් අසුන් කරා යොමුකළේ ඔහුගේ සායනික වාර්තාව සහා බෙහෙත් තුණ්ඩුව නිසි ක්රමයට අප වෙත පත්කිරීමට ය.
උදේ 11.30ට පමණ – අප භාහිර රෝගි අංශයට පිටුපසින් ඇති රෝහලට පැමිණියේ පැය කාලක් පමණ පයින් ඇවිදින දුරක් ගෙවාගෙනය. (ඔව් අර තුණ්ඩුව ලැබෙනකම් අපිට පැය භාගයකටත් වඩා බලා සිටීමට සිදු විය). එහි ෆාමසිය පිහිටියේ පිටුපස ඇති රෝහලේ ය. ඒ එනවිට එහි දිගු පෝළිමකි. (ඔව් එහෙත් පෝළිම් ඇත. සාමාන්ය supermarket එකේ, බස් නැවතුම්පොළේ පවා පෝලිම් ඇත. ඒවා එහෙට නෝමල් ය😜).
හෙම්බත් වී සිටි මගේ මිතුරාව පසෙකින් ඉන්දා තබා රැජිනගේ මව මතක් කරමින් පැය භාගයක් පමණ මා පෝළිමේ සිට යාන්තම් කවුන්ටරයට ළඟා වූයෙමි. කවුන්ටරයේ අයියා තුණ්ඩුව රැගෙන ඇතුළට ගොස් පරිඝණකය විමසා බලා නැවත පැමිණියේ ලියා තිබූ බෙහෙත ඔවුන්ගේ ගබඩාවේ නෑ කියාගෙනය. ඒ ලියා තිබුණෙ වමනයට සහා උදරයේ ආම්ලිකතාව සඳහා භාවිත කරන ඉතා බහුල ඖෂධ වර්ග දෙකක සංයෝගයකි. 🙄
මට දැන් රතු කට්ට පැනගෙන ඒමට ආසන්නය. “මොනවා? ඔයාල ගාව A සහා B නෑ?” යැයි මා මදක් උස් ස්වරයෙන් ඇසූ නිසාදෝ “නෑ මැඩම්.. ඒ දෙක තියෙනවා… දොස්තර ලියලා තියෙන්නෙ ඒකෙ combination එක.. ඒක නෑ”. මා 10ට ගැන නැවත මුව විවර කර “ඉතින් ඒ දෙක දෙන්න”… ඔහු ඇස් උඩ යවා “බෑ මැඩම්.. A කියන්නෙ prescription drug එකක්.. ඒක එහෙම වෛද්ය නිර්දේශ නැතුව දෙන්න බෑ”
මා නැවත 10ට ගැන “ඉතින් ඔය වෛද්ය නිර්දේශය තියෙන්නෙ”. මේ දුඹුරු සමැති ගැහැනිය සමඟ ඔහු වාද කළා ඇති වැනි බැල්මක් හෙලා “සොරි මැඩම් නගරෙ ෆාමසියක චෙක් කරලා බලන්න” යැයි පවසා ඔහු මා එතන නෑ යැයි සිතාගෙනසේ ඊළඟ සේවාලාභියා වෙත යොමුවිය.
දහවල් 12.30ට පමණ අප නැවත OPD එකට පැමිණියේ ශ්රී ලංකාවේ ක්රමේට දොස්තරට කියා තුණ්ඩුව වෙනස් කරගැනීමට බැලීමට ය. (රෝගී මිතුරා මාගේ මුහුණ දැක බියවී නිහඬව එම අදහසට එකඟ වුනත් හෙද නිළධාරි තුමියගේ සහා මගේ “මිත්රශීලී” සංවාදයෙන් අනතුරුව “මෙහෙ එහෙම බෑ” යැයි කුටු කුටු ගා පවසනු මාගේ සවනතට වැටුණි. 🙃) ඉතිම් අපි පස්වරු දෙකට පමණ රෝහල් දොරකඩටම පැමිණෙන බස් රථයට නැගී නගරයට පැමිණියෙමු.
හවස 5ට පමණ – අප සිටි බාත් නගරය කෙතරම් කුඩා දැයි මා දැනගත්තේ එදාය. මුළු නගරයටම තිබුණේ ෆාමසි 4කි. අප ඒ හතරේම පෝළිම්වල තැප රෝහලේ ෆාමසියේ අයියා දුන් පිළිතුරම ලබා ගතිමු. අවසාන කුඩා ෆාමසියේ සිටි දුඹුරු හමැති තරුණයා උදේ සිට රස්තියාදු වී සිටින අප දෙදෙනා ගැන අනුකම්පාවෙන් දෝ “සොයුරිය (sister) අහවල් පාරෙ ආසියානු කඩයක් තියෙනවා ඒකෙ බලන්න” යැයි පැවසී ය. (මාගේ ස්කොට්ලන්ත ජාතික මිතුරාගේ ඇස් උඩ යනු මා ඇස් කොණින් දුටුවෙමි 😂). අප ඉතිම් ඒකත් බලමු යැයි කියා නගරයේ කොණක තිබූ, පවුමට පොඩි පොඩි බඩු අලෙවිකරන ඒ කඩයට ගියෙමු. (දැන් හැරී බලද්දී අප ඒ ගියේ නොයා යුතු ගමනකි. අපට ඇත්තටම ඒ ගැන සිතා බැලීමට තරම් මානසික තත්වයක් තිබුණේ නැත).
තොරොම්බල් කඩේ සිටි දුඹුරු හමක් ඇති තරුණයා තුණ්ඩුව බලා “හෙට හවස 5ට ගෙනත් තියන්නම්” යැයි පැවසුයේ වෙන කිසිත් අපට කතාකිරීමට ඉඩ නොසලසා ය. ඉතිම් අප පස්වරු 7ට පමණ නැවත බෝඩිමට පැමිණියේ හිස් අතින්ම ය.
මගේ මිතුරාට දැන් වමනෙත් නැත… මා අසනීප තත්වය ගැන විමසන විට ජීවත් වුනා ඇති වගේ හැඟීමක් මිස වෙන අමාරුවකුත් නැති බව පැවසූ බව මතකය 🙊. මා මොකටත් මා ලංකාවෙන් යන විට ගෙන ගිය අරට සමාන බෙහෙත් පෙති අවශ්ය නම් බොන්න යැයි කියා ඔහුට දුනිමි. (ඔහු ඒවා බිව්වේ නැති බව මට විශ්වාස ය 😂).
ඉතින් පහුවදා හවස 5ට අපගේ තවත් පිරිමි මිතුරන් දෙදෙනුකු සමඟ ගොස් ඔහු අර ආසියාතික කඩෙන් බෙහෙත් පෙති ලබාගත්තේ ය. ඊයෙ උදේ ලේ වමනෙ ගිය විට අද රෑ බේත් බී ඇතියැයි ඔහු විශ්වාස කළ නිසා මාද ඔහුගේ සිත රිද්දවීමට නොසිතුවෙමි. එහෙත් මට “ලංකාවෙ නම් ඕනෑම ලෙඩකට, ඕනෑම රෝහලකට, ඕනෑම වෙලාවකට ඇවිදන් යන්න විතරයි තියෙන්නෙ… ඔයාල පව් ඇත්තටම” යැයි නොකියා ඉන්න බැරි විය 🙏🤐

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය ,

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය.

මනුජා පෙරේරා