නවතම පුවත්

කහ අල තැම්බීම කල යුතු ම ද?

අසංක

අසංක

බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි කහ කුඩු හෝ පේස්ට් හදන ක්‍රියාවලියේ දී මුලින් ම අමු කහ තැම්බීම කල යුතු ම ද කියන දේ. මේ සටහන තුලින් අද අපි විමසන්න යන්නේ ඒ ගැනයි.

කහ තැම්බීම කල යුතුම ද? එයින් ලැබෙන යම්කිසි විශේෂ වාසියක් තිබෙනවා ද?
ඔව්. අනිවාර්යයෙන් ම කල යුතු යි. මොකද එනිසා ලැබෙන විශේෂ වාසි ගණනාවක් ම තිබෙනවා. ඒවා තමයි,

* කහ අලවල ඇති ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය වන්නේ කර්කියුමින් ය. එය අමු කහ අලවල පවතින්නේ කර්කියුමිනොයිඩ් නම් පුර්වජ සංයෝගය ලෙස යි. කහ තැම්බීමේ දී එහි ඇති පිෂ්ඨය ජෙලටිනීකරණය වීමෙන් කර්කියුමිනොයිඩ් කර්කියුමින් බවට පත් වේ.
* කහ තැම්බීමේ දී අලවල මධ්‍යයේ ඇති සෛල පුපුරා කහ අල මධ්‍යයට කේන්ද්‍ර වී ඇති කර්කියුමින් අලය අභ්‍යන්තරය පුරා විසිරී, තැම්බූ කහ අල කැබලි වෙත ඒකාකාරී වර්ණයක් ලබා දීමට උපකාර කරයි.
* තැම්බීමේ දී අලයේ ඇති ජලය යම් ප්‍රමාණයක් විසරණය මඟින් ඉවත් වේ. මේ නිසා වියලීම ඉක්මන් වේ.
* අල මතුපිට ඇති දිලීර බීජාණු වැනි විශබීජ විනාශ වේ.
* අලවල මඩ තවදුරටත් ඉවත් වී හොඳින් පිරිසිදුවීම සිදුවේ.
* කහ අලවල ඇති අමු ගඳ ඉවත් වේ.

තැම්බීම නිසා කහ අල දිය වී ඒවායේ වර්ණය අඩු වීමක් සිදුවෙනවා ද?
නැහැ එසේ සිදුවන්නේ නැහැ. නමුත් අලයේ අභ්‍යන්තරයේ වර්ණය විසිරී යාම සිදු වේ. කහ තැම්බූ පසු එම ජලය සුළු වශයෙන් කහ පැහැ වුණත් එය නොසැලකිය හැකි තරම් ඉතා අවම යි. ඇත්තෙන්ම මෙහි දී කහ අලවල ඇති ජලය ඉවත්වීම මිසක් අලුතින් එය තුලට ජලය එකතු වීමක් සිදුවන්නේ නැහැ.

වඩා හොඳ කහ අල නටන ජලයේ ගිල්වා තම්බන එක ද? නැත්නම් හුමාලයෙන් තම්බන එක ද?
එම ක්‍රම දෙකෙන් ම ගුණාත්මයේ විශාල වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ජලයේ තැම්බීමේ දී කහ අලවල තිබෙන යම් ජල ද්‍රාවී සංයෝග සුළු ප්‍රමාණයක් ඉවත්වෙන්න පුළුවන්. ඒ වගේ ම හිරු එළියෙන් කහ වියළීමේ දී හුමාලයෙන් තම්බන ලද කහ වියලීම පහසු බවත් පෙනී ගොස් තිබෙනවා. (නමුත් විජලන යන්ත්‍රයක දී එහි වෙනසක් නැහැ) මේ නිසා හුමාලයෙන් තැම්බීම, ජලයේ ගිල්වා තැම්බීමට වඩා සුළු වශයෙන් වාසි සහගත යි.

කහ අල තැම්බීමේ දී අතීතයේ භාජනය පතුලටත්, අලවල මතුපිටටත් අමු කහ කොළ එකතු කිරීමක් සිදු කර තිබෙනවා නේ ද? එයට හේතුව කුමක් ද?
එසේ කිරීමේ විශේෂ අවශ්‍යතාවයක් නැහැ. ඇතැම්විට කහ සුවඳ වර්ධනය කරගැනීමට යොදාගත් ක්‍රමයක් විය හැකි යි.

ඒ වගේම යම් යම් ද්‍රව්‍ය එකතු කරලා කහවල වර්ණය අඩු වැඩි කරගන්න හැකියාව තිබෙනවා නේ ද?
ඔව්. අතීතයේ දී කහ තම්බනවිට එම භාජනයට දෙහි ලෙලි, දෙහි කොළ, සාදික්කා ලෙලි, ගොරකා වැනි අම්ල කාරක සුළු වශයෙන් එකතු කර තිබෙනවා. එමගින් ලැබෙන අම්ලගතිය නිසා කහවල වර්ණය තද පැහැයක් ගන්නවා.
ඒ වගේම ආප්ප සෝඩා (සෝඩියම් බයිකාබනේට් – NaHCO3) වැනි භාෂ්මික ද්‍රව්‍ය එකතු කරලා කහ වර්ණය ලා පැහැ කරවන්නත් පුළුවන්. වර්ණය අඩු කිරීමට ඉන්දියාවේ නම් ගොම එකතුකරන බවත් කියවෙනවා. නමුත් අපේ රටේ වැවෙන කහවල වැඩි කර්කියුමින් ප්‍රතිශතයක් සමඟ තිබෙන උසස් වර්ණගැන්වීමේ ගුණයක් ඇති නිසා එවැනි දේවල් කරන්න අවශ්‍ය නැහැ.

කහ අලයේ පවතින කුරුට්ට හෙවත් පිටත පොත්ත නිසා, සකසන කුඩුවල හෝ පල්පයේ වර්ණයේ වෙනසක් සිදුවෙනවා ද?
ඔව්. කුරුට්ට නිසා නිෂ්පාදනය කරන කහ කුඩුවලට හෝ පේස්ට් එකට අඳුරු පැහැයක් එන්න පුළුවන්. මේ නිසා මුලින් ම කහ අල ඉතා හොඳින් පස් වැලි ඉවත්වන පරිදි සේදීම කල යුතු යි. ඒ සමඟ කුරුට්ටේ ඇති මියගිය පොතු කොටස් ඉවත්වන පරිදි හොඳින් බ්‍රෂ් කරන්න ඕන. නිවසේ භාවිතයේ දී නම් කොසු වැනි බුරුසුවක් භාවිත කරන්න පුළුවන්. වාණිජ මට්ටමින්නම් මේ සඳහා ම සැකසු කහ අල සේදීමේ යන්ත්‍ර තිබෙනවා.
ඒ වගේ ම කහ අල වියළු පසුව ඒවා ඔප දැමීම මඟින් සිදුකරන්නේ ද එම අලය වටා ඇති කුරුට්ට ඉවත් කිරීම යි.

කහ අලවල ප්‍රමාණය අනුව ඒවා තැම්බීමට ගතවන කාලය වෙනස් වෙනවා නේ ද?
නිවැරදි යි. අලවල විශාලත්වය සහ මෝරා ඇති ප්‍රමාණය අනුව ඒවා තැම්බීමට ගතවන කාලය වෙනස් වෙනවා. හොඳින් මේරූ විශාල අල තැම්බීමට, අනෙක්වාට සාපේක්ෂව වැඩි කාලයක් ගතවෙනවා. නමුත් සාමාන්‍ය කහ තැම්බීමක දී අල විශාල ලෙස වෙන් කිරීම අවශ්‍ය නැහැ. මව් අල (හෙවත් මුල් අල) සහ ඇඟිලි අල පමණක් වෙන්කර, ඇඟිලි අල විනාඩි 30 කුත්, මව් අල විනාඩි 45 කුත් නටන ජලයේ හෝ හුමාලයේ තම්බාගැනීම ප්‍රමාණවත්.

තොරතුරු සැපයීම:- තුෂාරි ලියනගේ
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි