නවතම පුවත්

වගකීම් විරහිත ඉල්ලීම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(ආචාර්ය නිහාල් ජයවික්‍රම විසිනි.)

විපක්‍ෂය මේ දිනවල විවිධ ඉල්ලීම් හා යෝජනා රජය වෙත ඉදිරිපත්කරමින් සිටී . ඇත්තෙන්ම මෙම ඉල්ලීම් සියල්ල ප්‍රායෝගිකද ? මෙරට ව්‍යවස්ථාවට අනුව එම ඉල්ලීම් ඉටුකළ හැකිද ? අප විමසා බලමු.

ජනාධිපතිවරයා ඉවත් කිරීම –

අපගේ ව්‍යවස්ථාව යටතේ හදිසි ජනාධිපති වරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට බලය නැත.

ආණ්ඩුක්‍රම වයවස්ථාවේ 31 වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට සිය පළමු ධුර කාලය ආරම්භ වූ දිනයේ පටන් වසර හතරක් ඉක්ම ගිය පසු ඕනෑම අවස්ථාවක දෙවැනි කාලයේ රැඳී සිටීම උදෙසා තමා තුළ ඇති චේතනාව ප්‍රකාශයට පත් කරමින් මහජනයා වෙතින් ජනවරමක් ඉල්ලා සිටිය හැකිය. වර්තමාන ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය ඇරඹුණේ 2019 නොවැම්බර් මාසයේය. එමනිසා ඔහුට මෙම වගන්තිය යටතේ 2023 නොවැම්බර් මාසය වනතුරු එම ඉල්ලීම කළ නොහැකිය. තවදුරටත් ඔහුට එම ඉල්ලීම කළ හැක්කේ ඔහු දෙවැනි ධුර කාලයක් අපේක්ෂා කරන්නේ නම් පමණකි.

ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට සිය තනතුරෙන් ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්විය හැකිය. ඔහු එසේ කළේ නම්, පාර්ලිමේන්තුව මාසයක කාලයක් ඇතුළත පවත්වන රහස් ඡන්දයකින්, ඔහුගේ ධුරකාලයේ ඉක්ම නොගිය කාලය උදෙසා, එහි යම් මන්ත්‍රීවරයකු බහුතරයකින් පත් කර ගත යුතුවේ. පාර්ලිමේන්තුව එසේ කරන තුරු අගමැතිවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත.

ජනාධිපතිවරයා ඉවත් කිරීමේ තුන්වැනි ක්‍රමය ව්‍යවස්ථාවේ 38 (2) වගන්තියේ සඳහන්ව ඇත. ජනාධිපතිවරයා සිය ධුරයට අයත් ක්‍රියාකාරකම් කිරීමට ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් බෙලහීන තත්ත්වයක ස්ථිර ලෙස පසුවෙන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනේ දෙකක් දෙනා අත්සන් කළ යෝජනාවක් කතානායකවරයාට ඉදිරිපත් කිරීමෙන් හෝ ජනාධිපතිවරයා,

හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවට
රටට ද්‍රෝහිවී ඇති බවට
අල්ලස් ගෙන ඇති බවට
තම නිලබලය අනිසි ලෙස භාවිතා කොට අපචාර ක්‍රියා හෝ දූෂණ ක්‍රියාවක් කර ඇති බවට

යම් දුරාචාර ක්‍රියාවක් කර ඇති බවට වූ චෝදනාවක් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ඇති විටෙක, කතානායකවරයා ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කොට වර්තාකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය යුතුය.

එහිදී පවත්වන නඩු විභාගයේ දී තමා වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපතිවරයාට අයිතියක් ඇත. ජනාධිපතිවරයාට එල්ලවූ චෝදනා ඔප්පුවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ හොත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකේ බහුතරය ලැබූ තීන්දුවකින් ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ හැකිය. එම නිසා ජනාධිපතිවරයා ‘හදිසි ජනාධිපතිවරණයක් කැඳවිය යුතු යයි’ දහස් ගණනක් ඡන්දදායකයන් ඉදිරියේ ඉල්ලා සිටීම නිරර්ථක ඉල්ලීමක් වන්නේය.

ආණ්ඩුව භාරදීම

විපක්ෂ නායකවරයාගේ අනෙක් ඉල්ලීම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ආණ්ඩුව ස.ජ.බ වෙත භාර දිය යුතුය යන්නයි. එයද ඉටුකළ නොහැකි ඉල්ලීමකි. ඔහු ඉල්ලා සිටින්නේ තමා සජබ නායකයා ලෙස අගමැති ධුරයට පත් කළ යුතුය යන්න නම්, එයද කළ නොහැක්කකි.

43 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා, අගමැති ධුරයට පත් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනාගේ විශ්වාසය හා කැමැත්ත දිනාගෙන ඇති බව පෙනී යන්නේ යයි තමා සිතන මන්ත්‍රීවරයා ය. පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගෙන ඇති බව තහවුරුවීමට යම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අවම වශයෙන් එහි මන්ත්‍රිවරුන් 113 කගේ සහයෝගය ලබාගත යුතුවේ.

ස.ජ.බ. නායකයා එවැනි අවශ්‍යතා සපුරාගත් අයෙක්ද? පෙනෙන ආකාරයට ඔහු එසේ නොවේ. ඕනෑම අවස්ථාවක රජයේ නායකයා වන්නේ ජනාධිපතිවරයාය. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පූර්ණ විධායක බලය පැවැරී ඇති තුරා ආණ්ඩුවක් පිහිටුවීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි. එම නිසා කිසිම අයුරකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, කිසිවකු හට ‘ආණ්ඩුව බාරදි’ ඉවත්විය නොහැකිය.

එම නිසා ස.ජ.බ. ට ආණ්ඩු බලය ලබාගත හැකි එකම විධිය වන්නේ මහ මැතිවරණයකින් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම පමණකි. වර්තමාන පාර්ලිමේන්තුව බලයට පත්වී ඇත්තේ 2020 අවුරුද්දේදී වසර පහක කාලයකටයි. එම නිසා මහ මැතිවරණයක් පැවැත්විය හැක්කේ නියමිත දිනට පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය හොත්, 2025 සැප්තැම්බර් මාසයේදී පමණකි. එසේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබේ.

එහෙත් ව්‍යවස්ථාවේ 70 වගන්තිය අනුව එසේ කළ හැක්කේ 2023 මාර්තු මාසයෙන් පසුවයි. පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක එය විසුරුවා හරින ලෙස ඉල්ලීමක් කළ හැකිය. එහෙත් ඒ සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුය. එසේ නම් විපක්ෂනායකවරයා තමාට දැන් ආණ්ඩුව, කවුරු හෝ භාරදිය යුතු බව බලාපොරොත්තු වන්නේ කෙසේද?

නිගමනය

1946 සහ 1972 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයා වන්නේ පිළිවෙළින් අග්‍රාණ්ඩුකාරවරයා හා ජනාධිපතිවරයාය. එම ව්‍යවස්ථා දෙකම යටතේ, මේ වසරේ සජබ සංවිධායන කළ ආකාරයේ උද්ඝෝෂණයකින්, දිනපතා දහස් ගණනක් ජනයා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, පිටිකිරි ආදිය හිඟ කමෙන් පීඩා විඳින බව සහ පෙර නොවූ විරූ මට්ටමෙන් දූෂණය රජවී ඇතැයි යන්න මහජන මතයකින් පෙන්නුම් කොට, අගමැතිවරයාට තමාගේ රජය ඉල්ලා අස්වීමට සළස්වා ඒ වෙනුවට වෙනත් පක්ෂ නායකයකුට ආණ්ඩුවක් පිහිටුවීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වන්නට රජයට උපදෙස් දිය හැකිව තිබිණි.

කෙසේ වුවද 20වැනි සංශෝධනයෙන් පසුව සියලුම විධායක බලය තනි පුද්ගලයකු වෙත ගොනුවී තිබියදී හදිසි ජනාධිපතිවරණයක් පවත්වන ලෙසට බල කළ නොහැකිය. එසේම ආණ්ඩුව භාර දෙන ලෙස යම් දේශපාලන පක්ෂයකට ද බල කළ නොහැකිය.

සජබ නායකයා දෙන පොරොන්දුවලින් පෙනීයන්නේ ඔහු යල්පැන ගිය ආඥාදායක පාලනයක් බලාපොරොත්තු වන බවයි. ඔහුගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයාද යළි යළිත් ඒ බව තහවුරු කර තිබේ. එවැනි ඉටුකළ නොහැකි, වගකීම් විරහිත ඉල්ලීම් ඉදිරිපත් කරමින්, වගකිවයුතු දේශපාලන නායකයකු සාමාන්‍ය ඡන්දදායකයා නොමග යැවිය යුතුද?

ඒ වෙනුවට ඔහු කළ යුත්තේ මේ වනවිට රට අන්ත අගාධයකට ඇද දමා ඇති, ආඥාදායක පාලන ක්‍රමය ඉවත් කිරීම උදෙසා, මහජන සහයෝගය ඒකරාශී කොට ප්‍රජාතන්ත්‍ර ව්‍යුහයක් ඔස්සේ මහජනතාවගෙන් පැවරෙන ප්‍රජාතන්ත්‍රීය දේශපාලන බලය ලබා ගැනීමයි.

(2022/3/18 Daily FT පත්‍රයේ පළවූ Irresponsible and Unattainable demands නම් ලිපියේ පරිවර්තනයකි . )

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්