නවතම පුවත්

වරායේ දූෂණ අක්‍රමිකතා රැසක් හෙළිදරව්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන මහ භාණ්ඩාගාරය රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව ) තොරතුරු අනාවරණයවී ඇත.

මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවනවිට නොපෙන්වන බව කෝප් කමිටුව පවසයි.

වරාය අධිකාරියේ සේවකයන් සදහා 2021 වර්ෂයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 585 ක් ගෙවා ඇතැයිද මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත.

මින් රුපියල් කෝටි 117ක් ගෙවා ඇත්තේ සේවක අතිරික්ත පවතින අංශවල සේවකයන් සඳහා බවද පැවසේ.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019, 2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) රැස්වූ අවස්ථාවේදීය.

සේවකයන් සඳහා අතිකාල දීමනා ගෙවීමට සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා වරාය අධිකාරියට නිර්දේශ කර ඇත.

හම්බන්තොට වරාය 2017 වසරේදී බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය මහාභාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකර භාණ්ඩාගාරය ඒ මුදල රජයේ වියදම් සදහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිදරව්වී ඇත.

මහා භාණ්ඩාගාරය මේ වනවිට ණය හා පොළිය ආපසු ගෙවීම සිදු කළද ‍ ගිණුම් ප්‍රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් ලෙස සටහන් නොවන බවද කමිටුව පවසයි.

වරාය අධිකාරියේ ගිණුම් වල 2017 නොවැම්බර් 30 වනවිට ඉතිරිව පැවති රුපියල් කෝටි දාහතර දහස් දහස් හත් සිය හතළිස් හයක ණය හා පොලී ශේෂය සහ රුපියල් කෝටි 4154 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමතියකින් තොරව මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කරනු ලැබ ඇති බවද අනාවරණයවී ඇත.

මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවනවිට නොපෙන්වන බවද එම කමිටුවේ දී හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය , වරාය අධිකාරිය සමග සාකච්ඡා කර එම මුදල් නිසි පරිදි ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත වාර්තා කරන ලෙස චරිත හේරත් මහතා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

මෙහෙයුම් කටයුතු 2017 නොවැම්බර් සිට නතර කර ඇති අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගම 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සදහා මෙරට බැංකුවකින් ඇ.ඩො මිලියන 24 ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් කෝප් කමිටු රැස්වීමේදී තොරතුරු හෙළිවී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 24 ක නැව් තෙල් මිලදී ගත්තද එම තෙල් භාවිත නොකර දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන 3.5 කට විකුණා ඇති බවද හෙළිදරව් වී ඇත. මේ අනුව ඇ.ඩො මිලියන 20.5 කට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවටද නිරීක්ෂණයවී ඇත.

චීන සමාගමකට හම්බන්තොට වරාය 2017 දී බදු දීමේදී මෙම ‘මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගමේ’ තෙල් ටැංකි සියල්ලද පවරා දී ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබදව අනාවරණය කර නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.

එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම මැදිහත් වන ලෙස කමිටුව මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බදවා ගැනීම් සිදුව ඇති බවද මෙහිදී තොරතුරු හෙළිවිය. වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත්කර ඇති සේවකයන් බදවා ගැනීමේ පටිපාටිය ( SOR) කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවෙන් අනුමත වී නොමැති බවද අනාවරණය විය. ආයතනය සහ සේවකයන් අතර සාමුහික ගිවිසුම් මගින් බදවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල තීරණය කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.

කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප් කොමිසමේ නිර්දේශයන්ට වරාය අධිකාරිය එකගත්වය පළ කර නොමැති බවද ඒ අනුව තනතුරු පමණක් අනුමත කර ඇති බවද හෙළිවිය. අධිකාරියේ අදාළ වැටුප් තල අනුමත නොවන නිසා බදවා ගැනීමේ පටිපාටියද (SOR) අනුමත කරගත නොහැකිවී ඇති බවද තවදුටරටත් මෙහිදී අනාවරණය විය.

සාමූහික ගිවිසුම් මගින් වැටුප් තල හා බදවා ගැනීමේ පටිපාටිය තීරණය කළද වරාය අධිකාරිය මේ රටේ ආයතනයක් බැවින් අනෙකුත් ආයතනවලට අදාළ නෛතික රාමුව තුළ කටයුතු කිරීම අවශ්‍යතාව මෙහිදී කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. යම් විශේෂිත හේතු කාරණා ඇත්නම් ඒ පිළිබද සාකච්ඡා කර නෛතික රාමුව ඔස්සේ මෙම ගැටලුව කඩිනමින් විසදා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග කඩිනමින් සාකච්ඡා කර නිසි තීරණයක් වහාම ගන්නා ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

වැඩ සහයකයන් ලෙස සුදුසුකම් රහිත 1500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව රහිත පුද්ගලයන් සදහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. තවද මාසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවද මෙහිදී හෙළි විය.

මෙම තත්වය පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් බදවා ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

එසේම දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් බදවා ගැනීම් සදහා ඉඩ සැලසීම පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලඥන්ගේ වගකීමක් බව කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු අවධාරණය කළහ.

මුදල් පනත සහ ලංකා වරායවල් පිළිබද අධිකාරිය පනත අනුව ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ හා අතිරික්ත මුදල් ලබා නොදීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

2016 සිට 2021 දක්වා අධිකාරිය රු. මිලියන 69,686 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. මිලියන 600ක් බවද මෙහිදී අනාවරණය විය. ඇතැම් ණය වාරික ගෙවීම, නඩත්තු කටයුතු සදහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ලාභ ලබන ආයතනයක් ලෙස වරාය අධිකාරියේ කාර්ය භාරය අගය කරන බවත් වරාය පනත අනුවද සියයට 8 ක ලාභයක් භාණ්ඩාගාරයට දිය යුතු බැවින් ඒ සදහා කටයුතු කරන ලෙස දැනුම් දෙන බවත් කෝප් සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

වරාය නැගෙනහිර බහාළුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සදහා දොඹකර මිලදී ගැනීමට වැඩ ආරම්භ කිරීමේ ප්‍රමාදය පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී වරාය අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මිලදී ගැනීම් කටයුතු 2024 වන විට නිම කරන්නට සැලසුම් කර ඇති බවයි.

එම කටයුතු කඩිනමින් සිදු කර එම පර්යන්තය වාණිජ කටයුතුවලට යොදා ගනිමින් ‍මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කළේය.

අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය කෙරිණ. 2022 වර්ෂයට අදාළ විගණන සැලැස්මද එවන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.

මෙම කෝප් කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, ජගත් පුෂ්පපකුමාර, ඉරාන් වික්‍රමරත්න, ඉන්දික අනුරුද්ධ, මධුර විතානගේ හා ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී