නවතම පුවත්

නායකත්වය වෙනස් කරන්න’යි තිසර කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරය ඇතුළත එකමුතුබව මෙන්ම ස්ථාවරත්වය ඇතිකිරීමට සඳහා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය වහම වෙනස් කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දන්වා තිබේ. නවසීලන්ත සංචාරයේදී ලසිත් මාලිංග නායකත්වය බාරගත් දා සිටම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කිසිම එකමුතුකමක් නැති බවත් කණ්ඩායම බෙහෙවින් අස්ථාවර තත්ත්වයක පවතින බවත් පවසන තිසර පෙරේරා ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම වෙනස්කම කළ යුතුව තිබෙන බවත් සිය ලිපියෙන් පෙන්වා දෙයි.

“අපි මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ආසන්නයටම පැමිණ සිටිමු. මේ වෙලාවේ අපේ කාර්යය විය යුත්තේ සමාජ මාධ්‍යවල පළවන දේ සම්බන්ධයෙන් නිකරුනේ කලහ කරමින් ඉන්නවාට වඩා කණ්ඩායම වෙනුවෙන් හොඳින් දස්කම් දැක්වීමයි. මේ වෙලාවේ කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් වගේම මඟ පෙන්වීමද ඉතා විශාල වශයෙන් ඕනෑ කර තිබේ”

“ඉතාම වැදගත් කාරණය වන්නේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරය ඇතුළත තිබිය යුතු එකමුතු කමයි. ඒත් අපට නැත්තේත් ඒකමයි. ලෝක කුසලාන තරගාවලියට පෙර මේ තත්ත්වය නිවැරදි කළ යුතුව තිබේ” යයි 2019 ජනවාරි 26 වැනිදා තිසර පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට යවන ලද ලිපියේ සටහන් වේ.

නවසීලන්ත සංචාරය සඳහා පිටත්ව යාමේදී ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් තුනේම නායකයාව සිටියේ දිනේෂ් චන්දිමාල්ය. එහෙත් අසන්ත ද මැල් මහතාගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුව පත්කිරීමෙන් පසුව එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකේම නායකත්වය චන්දිමාල්ගෙන් ඉවත් කර ලසිත් මාලිංග වෙත පරන ලදි. මේ අතරවාරයේදී සාමාජ මාධ්‍ය ජාල අතරේ තමන් අධෛර්යයට පත්කරන ආකාරයේ අදහස් පළකළේ යයි කියමින් තිසර පෙරේරා විසින් ලසිත් මාලිංග සහ ඔහුගේ බිරිඳ ප්‍රසිද්ධියේම විවේචනය කරන ලදි.

මෙම අසෝබන අදහස් හුවමාරුවීම් ආරම්භ වූයේ දෙසැම්බර් 21 වැනිදාය.

ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් දීමත් සමගම ක්‍රීඩකයෙක් චීත්තයක් ඇඳගෙන ක්‍රීඩා ඇමතිවරයාග් නිවසට ගොස් චාටු කතා කී බව හඟවා මුහුණු පොතේ අදහස් පළකර තිබිණ. එහිදී තිසර පෙරේරා ඉලක්ක වී තිබුණු බවද කියැවේ.

ඊට ප්‍රතිචාර වශයෙන් “සිංහ හමක් පොරවාගත් පළියට නරියෙක් කවදාවත් සිංහයෙක් වෙන්නේ නෑ. කට ඇරියාම ඌ නරියෙක්ම තමා” යයිද මුහුණු පොතේ පළවී තිබිණ.


තිසර පෙරේරා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වෙත යවන ලද ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළවේ.

ඇෂ්ලි ද සිල්වා මහතා
ප්‍රධාන විධායක නිලධාරි
ශ්‍රී ලංකා ක්‍රිකට්
35, මේට්ලන්ඞ් පෙදෙස
කොළඹ 07

2019 ජනවාරි 26 වැනිදා
මහත්මයාණෙනි,

මා මෙම ලිපිය ලියන්නේ මහත් කණගාටුවෙනි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වශයෙන් කණ්ඩායමේ උන්නතිය ද වෙනුවෙනි.

ඔබතුමන් මේ වන විටත් දන්නා පරිදි, ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් නායක ලසිත් මාලිංගගේ බිරිඳ වන ටාන්යා පෙරේරා මහත්මිය විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මා ඉලක්ක කරමින් පළකරන ලද අදහස් බොහොමයකි. මගේ බිරිඳත් මමත්, ඉතා අසීරුවෙන් මේවා ඉවසාගනිමින් නිහඬව සිටියේ ක්‍රීඩාවටත් විශේෂයෙන්ම ලසිත් මාලිංගටත් තිබෙන්නාවූ ගෞරවය හේතුවෙනි.

එසේ වුවත්, අප නවසීලන්තයේ සිටියදී, මෙම තත්ත්වය වඩාත් අඳුරු ස්වරූපයක් ගත්තේ තරගාවලියක් අතරමැද දීය. මේ හේතුවෙන් මා විඳි මානසික වධය සහ අපහසුතාව වචනයෙන් විස්තර කිරීම අපහසුය.
නායකත්වයට නැවතත් පත්කරන ලෙස ඉල්ලමින්, උසස් නිලධාරීන් පසුපසද, ක්‍රීඩා ඇමතිවරයා පසුපසද මම ගියේ යැයි මට චෝදනා කෙරිණ. එහෙත් මා සෑම විටම තේරීම් ක්‍රමවේදය කෙරෙහි විශ්වාසය තැබුවා මිස, කිසියම් අවස්ථාවක මා කණ්ඩායමෙන් නෙරපනු ලැබුවද, ඒ සම්බන්ධයෙන් හෝ ප්‍රශ්න කර නැත්තෙමි. මා වෙනුවෙන් උපකාර කරන ලෙසද ඉල්ලා නැත්තෙමි. එසේ වුවත් මා නැවතත් ජාතික කණ්ඩායමට කැඳවූ අවස්ථාවේදී මගේ කැඳවීම වෙනුවෙන් සාධාරණය ඉටුකර ඇති බව මම විශ්වාස කරමි. වසර 2018 දී ක්‍රීඩකයකු වශයෙන් මගේ දස්කම් විශ්ලේෂණය කිරීමෙන් එය තහවුරු වනු ඇත.

වැඩිදුරටත් කියන්නේ නම්, මම වගකීම් පැහැර හැර නැත්තෙමි.

ශ්‍රී ලංකා කණ්ඩායම විදේශ සංචාරයක (පාකිස්තානයට) යාමට නියමිතව තිබූ අවස්ථාවලදී, වෙනත් කිසිවකු ඉදිරිපත් නොවූවද නායකත්වය සඳහා මම ඉදිරිපත් වූයෙමි. සංචාරයකට යාමට වඩා, ඒ අවස්ථාවේදී මගේ රට නියෝජනය කරමින්, අපගේ අසල්වාසී රටක් වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව ලැබීම මම ගෞරවයක් කොට සලකන බව කීමටද මම කැමැත්තෙමි. ඒ වන විට ක්‍රිකට් සංචාර අහිමිව සිටි අපගේ අසල්වාසීන්ට නැවතත් අන්තර්ජාතික තරග ගෙන ඒම ආරක්‍ෂාකාරී යයි ප්‍රකාශ කිරීමට එම සංචාරය උදව්වක් විය.

ඒ කෙසේ වෙතත්, දැනට සිටින නායකයාගේ බිරිඳ විසින් සමාජ ජාල ඔස්සේ මෙවැනි චෝදනා ගෙන එන කල්හි, පොදු මහජනතාව ඒවා විශ්වාස කරමින්, නොයෙක් ආකාරයෙන් මට ප්‍රහාර එල්ල කිරීම නවත්වාලිය හැකි නොවේ. පීඩනය කොතෙක්ද යත් යම් ආකාරයකින් එක තරගයකදී හෝ මා අසාර්ථක වූයේ නම් ඊළඟ තරගයේදී මාව කණ්ඩායමෙන් ඉවත් කරන බවට කිසිදු සැකයකින් තොරවම මම දැන සිටියෙමි.

අවංකවම ප්‍රකාශ කරන්නේ නම්, එදා සිටම, ක්‍රීඩකයන්ගේ විවේක කාමරයේදී සියල්ලෝම මහත් අපහසුතාවකින් සිටිති. ජ්‍යෙෂ්ඨයන් එකනෙකා සමග එකඟ නොවන විට තරුණ ක්‍රීඩකයන්ට එහි පීඩනය තදින් දැනේ. අපට දැන් ක්‍රීඩා කරන්නේ භේද භින්න වූ කණ්ඩායමක් ලෙසිනි.

නායකත්වයේ වගකීම වන්නේ කණ්ඩායම තුළ එකමුතු බව සහ ස්ථාවරත්වය ඇතිකිරීමයි. කිසියම් තරගයක් සම්බන්ධයෙන් සැලැස්මක් සාකච්ඡා කිරීමට පෙරම එය කළ යුතුව තිබේ. එහෙත් මේ අවස්ථාවේදී එයින් එකක්වත් අපට නැති බව මා කියන්නේ කණගාටුවෙනි.

මට එරෙහිව එන ප්‍රහාර දරා ගැනීමට මට සිදුවූයේ කණ්ඩායම සම්බන්ධයෙන් මගේ අරමුණ කුමක්ද යන්නත් විස්තර කරමිනි. පරාජය වීමේ අරමුණ ඇතිව කිසිවකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකරයි. අපි අපට කළ හැකි හොඳම දේ කණ්ඩායම වෙනුවෙන් ඉටු කළෙමු. නවසීලන්ත සංචාරයේදී මගේ දස්කම් ඒ වෙනුවෙන් සාක්ෂි දරණු ඇත.

පෙරේරා මහත්මියගේ අදහස් දැක්වීමකින් අදත් මා ඉලක්ක කෙරී තිබේ. එය වෛරසයක් සේ පැතිර යමින්, මගේ සමාජ මාධ්‍ය ජාලයේත් පැතිරී ගියේය.

මම දන්නා පරිදි, මෙම අදහස් දැක්වීම් කෙරෙන්නේ මා අධෛර්යමත් කිරීමට මෙන්ම මගේ විශ්වාසනීයත්වය බිඳ දැමීමටය. එහෙත් මම මේ උගුලට අසු නොවෙමි. එසේ කීවද, මා ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වයට මැදිහත් වී මහත් ගරුනම්බු ලබන මහජන සංඛේතයකින් කෙරෙන මෙම ළදරු හැසිරීම නවතා දැමීමට උත්සුක වන ලෙසයි.

අපි මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ආසන්නයටම පැමිණ සිටිමු. මේ වෙලාවේ අපේ කාර්යය විය යුත්තේ සමාජ මධ්‍යවල පළවන දේ සම්බන්ධයෙන් නිකරුනේ කලහ කරමින් ඉන්නවාට වඩා කණ්ඩායම වෙනුවෙන් හොඳින් දස්කම් දැක්වීමයි. මේ වෙලාවේ කණ්ඩායමට ස්ථාවර නායකත්වයක් වගේම මඟ පෙන්වීමද ඉතා විශාල වශයෙන් ඕනෑ කර තිබේ.

ඉතාම වැදගත් කාරණය වන්නේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරය ඇතුළත තිබිය යුතු එකමුතු කමයි. ඒත් අපට නැත්තේත් එකමයි. ලෝක කුසලාන තරගාවලියට පෙර මේ තත්ත්වය නිවැරදි කළ යුතුව තිබේ.  

අප ඉදිරියට යා යුත්තේ කණ්ඩායමක් වශයෙනි. භේද භින්න වූ පාර්ශ්වයන් ලෙස නොවේ. නායකත්වය මෙන්ම ජ්‍යෙෂ්ඨයෝත් මෙහිදී අන්‍යන්ට ආදර්ශයක් විය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නේ නම් ඊට මුහුණදීමට මම සූදානම් බවද දන්වනු කැමැත්තෙමි.
කණ්ඩායම් කළමණාකාරීත්වය හමුවේ මගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් මම ඔබට ස්තුති කරමි.

අත්සන් කළේ
තිසර පෙරේරා



image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී