විශේෂාංග

Share now!

දුපතක් වුවද අපි ලොවට විවෘත වු ජාතියකි. ශ්‍රි ලාංකේය අනන්‍යතාව රැක ගැනීමට උත්සාහ කරන ජාතියකි. ජනවර්ග ආගම් ලෙස බෙදා වෙන්කිරීමට කොතෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුවද ශ්‍රි ලාංකේය ජාතිය නැමැති එක රටක් එක කොඩියක් එක නීතියක් යටතේ පෙළගැසීමට අසා කරන ජාතියකි.

රටක අනන්‍යතාවය මුලුනුපුටා දමන කල රටක් ලෙස ව්‍යවස්ථාපිත රාජ්‍ය නැමැති අදහසවත් ඉතුරුවේද යන්න සැක සහිතය. සෛවරී රාජ්‍යයක් ලෙස රටට හෝ නමට වගන්තියක් එල්ලා ගැනීමෙන් පමණක් එම රටේ භෞමික අඛන්ඩාතාවක් රැකෙන්නේ නැත.
කාලයෙන් කාලයට විදේශීය සතුරු උවදුරුවලට ලක්වු ශ්‍රී ලංකාව මේ මොහොතේද එවැනි නොපෙනෙන බලවේග රැසකට ගොදුරුවෙමින් සිටී.

ඊට ආසන්නම උදාහරණය ඇක්සා හෙවත් අත්පත්කරගැනීමේ හා හරස් සේවා ගිවිසුමයි. මෙම ගිවිසුම ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය සමග මුලින් අත්සන් තැබුණේ 2007 මාර්තු මාසයේ 05 වැනිදාය. දෙවැනුව අත්සන් තැබුණේ 2017 අගෝස්තු 04 වැනිදාය.

නමුත් රටක ජනතාවගෙන් විමසිය යුතු අතිශය තීරණාතම්ක ඇමෙරිකානු ගිවිසුමක් පිළිබදව මෙරට හුදී ජනතාවට අබ මල් රේණුවක දැනුමක් නැත. ඊට හේතුව හොර රහසේ රටක අනන්‍යතාවය පාවා දීමට තරම් සමත් විදේශ දූත සේවාවක් ශ්‍රි ලංකා විදේශ සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවීමය.

ඇක්සා ගිවිසුම කුමක්දැයි කිසිවෙකු හෝ මෙම බලධාරින්ගෙන් විමසීමක් කළ හොත් ඒය සාමන්‍යය කොන්දේසිමත එළැඹුණ ගිවිසුමක් යැයි කෙනෙක්ට පැවැසීමට හැකිය. නමුත් සැගව තිබෙන යථාර්ථය එය නොවේ.

ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ හමුදාවන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට මෙම දෙවැනුවට අත්සන් කළ ගිවිසුමට අනුව කිසිදු අවසරයකින් තොරව එය කළ හැකිවේ. කලින් ගිවිසුමේ හැටියට ශ්‍රි ලංකා රජයෙන් එසේ පැමිණීමට පෙර අවසර ගත යුතුව තිබු අතර ඒ වගේම කුමන බල ඇණිය ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවන්නේ යන්න සදහන් කළ යුතුව තිබුණි.

ඒසේම මෙරට ආරක්ෂක අමාත්‍යංශයට ඒ බව දැන්විය යුතුව තිබුණි. නමුත් මෑතකදී අත්සන් කර තිබෙන දෙවැනි ඇක්සා ගිවිසුම මතභේදයට තුඩු දීමට හේතුවී ඇත්තේ ඒ ගිවිසුමට අමතරව සහායක ලෙස ඉදිරිපත් කර තිබෙන 50ක පමණ ඇමණුම්වල බරපතලභාවය නිසාය. එම ඇමණුම්වලින් ඇමෙරිකාවේ සියලුම යුදමය ආයතනවලට ලංකාවට අවසරයකින් තොරව ඇතුලුවීමේ බලය හිමිවීම එක් බරපතල උදාහරණයක් පමණි. ශ්‍රි ලංකාවේ ගුවන් තොටුපළ, වරාය සහ භූමිය පාවිච්චි කිරීමේ බලය ඔවුන්ට මෙම ගිවිසුම ඔස්සේ නිතැතින් හිමිකර දී තිබීම අනෙක් බරපතල තත්ත්වයයි.

2007දි පළමු ගිවිසුම අත්සන් වුයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා එවකට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති රොබට් ඔ බ්ලේක් අතරය. එම ගිවිසුම පිටු 7කි. නමුත් එම ගිවිසුමේ කිසිදු ඇමණුමක් නැත. කිසිදු ඇමෙරිකානු ඒකකයක් ශ්‍රි ලංකාවට පැමිණීම ගැන සදහනක් තිබුණේ නැත. කොටින්ම කියතොත් අවසරයකින් තොරව ඇමෙරිකානු ඒකකවලට ලංකාවට පැමිණීමේ හැකියාවක් එම ගිවිසුමේ කොතනකවත් තිබුණේ නැත.

2017 අගෝස්තු 04 වැනිදා අත්සන් කර තිබෙන ගිවිසුම අමු අමුවේ රට පාවා දීමකි. ඇමෙරිකානු එක්සත් ජනපදය මෙම ආන්දෝලනයේදී ප්‍රකාශ කරන සුරංගනා කතාවක් තිබේ. ඒ ඇමෙරිකාවට ලැබෙන සම අයිතියම මෙම ගිවිසුමේදීශ්‍රි ලංකාවට ලැබෙන බවයි.

ඒ අනුව සිතා බලන විට අපේ හමුදාවට ඇමෙරිකාවට අවසරයකින් තොරව ඇතුළුවී ඔවුන්ගේ ගුවන් තොටුපළ, වරාය සහ භූමිය භාවිතා කළ හැකිය. අඩුම අපේ හමුදාවට ඒ තරම් දුරක් යාමට තරම්වත් පහසුකම් දැනට රටක් විධියට අපට නැත.

ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප්

ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සමග සාකච්ඡා කරමින් මෙම දෙවැනි ගිවිසුම සදහා සාකච්ඡා පැවැත්වුවද අවසානයේ ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු සිදුව තිබෙන්නේ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්නගේ සමයේදීය. මෙම ගිවිසුම අත්සන් තැබිය යුතුයැයි වැඩිම බලපෑම එල්ල කර ඇත්තේ හිටපු විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම්ය. කරුණාසේන හෙට්ටිආරච්චි හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබදව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න

අදාල බලපෑම් හේතුවෙන් 2017 ජුනි 30 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ සම්බන්ධයෙන් කැබිනෙට්ටුවට ලියවිල්ලක් ඉදිරිපත් කළේය. මෙසේ සිංහලෙන් ඉදිරිපත් කළ කැබිනට් සංදේශය පිටු 08 කින් සමන්විතව තිබුණි. නමුත් ඉදිරිපත් කළ ඉංගිරිසි අනුවාදයේ පිටු 83කින් සමන්විතව තිබුණා. එවකට පැවැති කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් මෙම ගිවිසුමේ කියවාබැලුවේ සිංහල අනුවාදය පමණක් බවට කිසිදු විවාදයක් නැත. නොඒසේනම් හැංගිහොරා ගැසු කරණම් එක් ඇමැතිවරයෙකුට හෝ පෙනෙන්නට ඉඩ තිබිණි.

ජර්මනියේ ශ්‍රි ලංකා තානාපතිධූරය හොබවන හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ප්‍රකාශ කර තිබුණේ විදේශ ඇමැති මංගල සමරවීර සහ විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් ඊට බලපෑම් එල්ල කළ බවයි.

මෙම ගිවිසුම කැබිනෙට්ටුවට යැවීම ප්‍රමාද කළ තානාපතිනි ශෂිකලා ප්‍රේමර්ධන වහාම විදේශ අමාත්‍යංශයට වාර්තා කරන ලෙස දැන්වීම එම බලපෑම ඉතා ඉහළ මට්ටමෙන් සිදුවු බවට සරල උදාහරණයකි. අනෙක් කාරණය මෙතරම් බරපතල ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර හොරපාරෙන් අත්සන් තැබීමයි.

Sri lanka flag combined with american flag

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ චීනය අතර අත්සන් කර තිබෙන බව කියන මෙවැනිම ගිවිසුමක් පිළිබදව තොරතුරු හෙළිදරව්වී ඇතත් එවැනි ගිවිසුමක් ගැන කැබිනෙට්ටුව හෝ පාර්ලිමේන්තුව නොදන්නා නිසා මහජනතාවට ඒ ගැන හාන්කවසියක දැනීමක් නැත. දැන් සිදුවන්නේ කුමක්දැයි බොහෝවිට පැහැදිලිවන්නේ යමක් සිදුවු පසුවය.

රටක් ලෙස ගත්විට විදේශ සේවාව තිබිය යුත්තේ ඒ රටේ සෛවරීභාවය සුරැකීමේ වගකීම පෙරදැඩිකරගෙනය. රටක බලය රදා පවතින්නේ පහත සදහන් කාරණා ඔස්සේය.

• බුද්ධි හා ආරක්ෂක පද්ධතිය
• ආර්ථික සුරක්ෂිතතාව
• විදේශ තානාපති දුත සේවා
• හමුදා ඒකක

මෙම තත්ත්වය ඔනෑම රටකට පොදුය. මෙම එක් අංශයක් හෝ දුර්වලවනවිට රටක් කඩා වැටීම සිදුවන්නේ නිරායාසයෙනි. 04-21 ප්‍රහාරය ඊට කදිම උදාහරණයයි. රටක ප්‍රධානම සාකච්ඡා මේසය තිබිය යුතුවන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලය තුළය. එම සාකච්ඡාවට ඉහළම විදේශ දූත පිරිස නියෝජනය විය යුතුය. තිස් වසරක යුද්ධය අවසන් කෙරෙන මෙහෙයුමේදීත් ඉන් පසු පවතින ආණ්ඩුව බලයට පත්වනතුරුත් මෙම තත්ත්වය මෙරට ක්‍රියාත්මක උවද පසුගිය කාලයේ මෙය වල්වැදිනි.

ඒ නිසා සයිබර් ප්‍රහාර,අර්ථික ආරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව ඇතුළු බොහෝ කරුණු පිළිබදව ගත යුතු තීරණ දිනෙන් දින මග හැරිණි. මීට පෙර ජාතික ආරක්ෂාව කේවල් කිරීමකට ලක් නොවීම නිසා බොහෝ ගැටලු ජාතික ආරක්ෂාව යටතේ විසදාගැනීමට ශ්‍රි ලංකාවට හැකිවිය.

විදේශ දුත තානාපති සේවාවේ යෙදෙන නිලධාරියෙකුගේ වැටුප රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩිය.අදාල රට තුළ සිය පවුලටම වෛද්‍ය පහසුකම් නොමිලයේ සිදුවේ. විනෝදාස්වාදක මුදලක් වෙනමම හිමිය. එය අවමය මසකට රුපියල් 50000කි. ඊට අමතරව ඔවුන්ගේ දරුවන්ට පාසල් සහ අනෙකුත් අධ්‍යාපන පහසුකම් හිමිය. මේ සියල්ල මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්ය.

අනෙකුත් බොහෝ රටවල විදේශ තානාපති සේවයේ සිටින පුද්ගලයන්ට ද්විත්ව පුරවැසිභාවයන් ලබා ගත නොහැකිය. ද්විත්ව පුරවැසිභාවය පමණක් නොව ඒ ඒ රටවල කාන්තාවන් හෝ විදෙස් පුද්ගලයන් අවාහ විවාහ කරගැනීම සේවයේ නිරතව සිටියදී කළ නොහැකිය. එසේ කරන්නේ නම් ඔවුන් නැවත සිය රට කැදවීමට තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල විදේශ අමාත්‍යංශය විසිනි.

ඊට හේතුව රටවල් දෙකකට සේවය කිරීමට නොව විදේශ දුත සේවාවට එක් රටකින් විය හියදම් දරනුයේ අදාල රටට ලෝකයේ අනන්‍යතාව ගොඩ නැගීම සදහාය. ද්වි පාර්ශව කරුණු වලදී කොන්ද කෙළින් තබා තීරණ ගැනීමටය.

• ශ්‍රි ලංකාවේ විදේශ සේවාවේ නිරතු තානාපතිවරුන්ගෙන් කී දෙනෙක් ද්විත්ව පුරවැසිභාවය ලබා තිබේද ?
• ඔවුන් විවාහ වී සිටින්නේ කා සමගද ?
• ඒවායේ බලපෑමක් තිබේද ?
• විදේශ සේවාවේ නිරතවීමට අවශ්‍යය සදුසුකම් මොනවාද ?
• දැනට සේවය කරන කී දෙනෙක් ඒ සුදුසුකම් සපුරා තිබේද ?
• ද්විත්ව පුරවැසිභාවය ලබා එම සේවාවල නිරතවිය හැකිද ?
• එවැනි පුද්ගලයන් වරදක් කළොත් දෙන දඩුවම කුමක්ද ?

මේ ප්‍රශ්න සදහා විදේශ අමාත්‍යංශයේ ඔනෑම නිලධාරියෙකුට නිලධාරිනියකට පිළිතුරු දීමේ අයිතිය අප පිළිගනී. අප ඒ පිළිතුරු රටක් විධියට බලා සිටින්නේ කාරියවසම්ලාගේ, මෙන්ම බුද්ධි ආතාවුදලා වැන්නවුන් ගැන බොහෝ තොරතුරු අප සතු නිසාය. රටක් විධියට විදේශ දුත සේවය ගැන දැන්වත් තීන්දුවක් නොගන්නේනම් මේ රටට සිදුවන දේ ජනතාවට සිතාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment