නවතම පුවත්

COVID -19, පරිසරය සහ මිනිසාගේ අනාගතය

අසංක

අසංක

නීතිඥ හරින්දි පල්කුඹුර 
Attorney-at-Law.

අද වනවිට ලොව පුරා දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත අහිමි කරමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන COVID -19 වෛරසය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. COVID වසංගතය නිසා මේ වන විට ලෝකයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 61,000ට ආසන්නයි.


ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය Zoonotic diseases, නැතිනම් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගයක් ලෙස සැල කර සිටින අතර ඉබොලා (Ebola), සාර්ස් (SARS ), H1N1, මර්ස් (MERS) යන වෛරස සියල්ලක්ම පාහේ මේ අයුරින් සතුන් මගින් බෝවන රෝග ඝනයට අයත් වන බව සොයාගෙන ඇත.


මෙම කොරෝනා වෛරසය පළමු වරට මිනිස් සිරුරට ඇතුළු වූ සැටි නියත වශයෙන් දැනට සොයා ගෙන නැතත්, WHO සංවිධානය පවසන්නේ මෙය මෙවන් වූ වසන්ගත පතුරවන අවසාන වෛරසය නම් නොවන බවයි.


එසේ නම් මෙවන් වෛරස උද්ගතවීමට හේතු මොනවද?


එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන United Nations Environment Programme (UNEP), මගින් 2016 දී නිකුත් කල වාර්තාවකට අනුව ලොව පුරා වසංගත අතුරින් 60%කට ආසන්න ප්‍රමාණයක් සතුන් මගින් මිනිසුන්ට බෝවන රෝග වන බව හදුනාගෙන ඇත.


ඒ අනුව මෙවන් රෝග නිතර උද්ගත වීමත් ඒවායේ සීඝ්‍ර ව්‍යාප්තියටත් ප්‍රධාන හේතුව මිනිසා විසින් සිදු කරන පාරිසරික හානි බව අනාවරණය වී ඇත. UNEP වාර්තාවට අනුව මිනිසා විසින් පරිසරයට සහ එහි සමතුලිතතාවට සිදුකරන බලපෑම මගින් zoonoses ආකාරයේ රෝග කාරක විෂබීජ මතුකිරීමේ ප්‍රවනතාවය සංඛ්‍යාත්මකව ගත්කල එවැනි විෂබීජ සෑම මාස හතරකට සැරයක් මතුවීමට ඉඩ ඇති බව සදහන් කරයි.

කුමන මිනිස් ක්‍රියාකාරකම් ද වැඩිපුරම හානිකර?


මිනිසුන් විසින් ඉතා බහුල වශයෙන් සිදුකරන වන විනාශය මින් ප්‍රධානයි. මිනිසා විසින් තම ජනගහනය ව්‍යාප්ත කර ගැනීමට, කෘෂිකර්මාන්තය, වානිජමය වශයෙන් සිදුවන දැව කර්මාන්තය, ආදී වූ විවිධ හේතු නිසා ස්වභාවික වනාන්තර හෙළි කරමින් පවතියි. වනවිනාශය හේතුකරගෙන සතුන්ට තම ස්වභාවයෙන් හිමි වාසස්ථාන අහිමිවී යන අතර එහි අනිසි ප්‍රතිඵලය වන්නේ සතුන් මිනිසාගේ ක්‍රියාකාරකම්වලට වඩාත් සමීප වීමයි. නුතන අලි මිනිස් ගැටුම මීට ඇති සරලම උදාහරණයයි.
මේ ආකාරයට මිනිසා විසින් සතුන්ගේ ස්වභාවික සංචරණ ක්‍රියාවලියට බාධා කරමින් සතුන් වෙත සමිප වීමේ දරුණුම ප්‍රතිපලය වන්නේ corona වැනි සතුන්ගෙන් බෝවන රෝගකාරක ඉතා පහසුවෙන් මිනිස් ශරීරගත වීමයි. චීනය වැනි රටවල බහුලව පවතින කැලෑ ආශ්‍රිතව වෙසෙන සතුන්, විශේෂයෙන් සර්පයින්, මොණරුන්, වවුලන් වැනි සතුන් පරිභෝජනය කිරීමත්, ඒ සදහා නීතියෙන් වලංගු භාවය ලැබුණු සාර්ථක වෙළදපොලක් නිර්මාණය වී තිබීම මෙවන් වූ රෝග කාරක මිනිසුන්ට පැතිර යාමට ප්‍රධාන හේතුවක් වී ඇත. COVID -19, SARS, H1N1 වැනි රෝග සතුන් පරිභෝජනය බහුල වූ චීනයෙන් වාර්තා විම සම්බන්ධව ලොව පුරා වෛද්‍යවරුන් හේතු පල කරන්නේ මෙවන් වූ තත්ත්වයක් යටතේය.


අනෙක් ප්‍රධාන කරණාව වනුයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේශගුණික විපර්යාස සහ පරිසර දුෂණයයි. ලොව පුරා විවිධ කර්මාන්ත වලින් පරිසරයට නිකුත් වන කාබන් (carbon emissions) ලෝක උෂ්ණත්වය (global warming) තීව්‍ර කර ඇති අතර, දේශගුණික වෙනස්කම් අක්‍රමවත් කාලගුණික තත්වයන් ඇති කරමින් වෛරස පහසුවෙන් පැතිරීමට හිතකර පරිසයක් නිර්මාණය කර ඇත. විශේෂයෙන් වායු දුෂණය වැඩි ප්‍රදේශවල මෙවැනි ශ්වසනය හා සම්බන්ධ රෝග තත්ත්වයන් උත්සන්න කළ හැකි බව වාර්තා වේ.


අපිට කුමක්ද කල හැකි?


අප අලුතෙන් සිතිය යුත්තේ ස්වභාවික සම්පත් විනාශ කරමින් අප ගෙනගිය ජීවන රටාව එලෙසම පවත්වාගන යනවාද නැතහොත් මිනිසා, සතුන් සහ පරිසරයේ යහපැවැත්ම උදෙසා අප වෙනස් වෙනවද යන්නයි.


මෙවන් අපදාවන්ගෙන් මිදීමට අපට කල හැකි ප්‍රධානම දේ නම් මාංශ මත පදනම් වූ ආහාර රටාවෙන් ක්‍රමවත්ව බැහැර වීමයි. එමගින් ලොව පුරා අක්‍රමවත්ව සහ පාරිසරික සමතුලිත බව මැඩලමින් ඉතා සිඝ්‍රයෙන් ඉහල යන මාංශ පරිභෝජනය සීමා වනු ඇත. සත්ව ආහාර වලින් බැහැර වීම මගින් මෙවන් සතුන් මගින් ජනනය වන වෛරස වලින් මිනිස් සිරුරට වන හානිය අවම වනු ඇත.


ඊට අමතරව මේ සදහා ලොව පුරා සියලු රටවල්වල සහභාගිත්වයෙන් ක්‍රමවත් සම්මුතියක් ඇතිකර ගැනීම වැදගත් වනු ඇත. වන සතුන් ඇතුළු සියලු මාංශ පරිභෝජනය සිමා කිරීම හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සත්ව ආහාර නිෂ්පාදනයට නීති සම්පාදනය කිරීම අන්තර්ජාතික වශයෙන් අවධානය යොමුවිය යුතු කරුණු වේ. එමෙන්ම, මාංශ සදහා වන ඉල්ලුම ක්‍රමවත්ව පාලනය වන ආකාරයට ජන මනස් වෙනස් කිරිමෙහි ලා රජය ඇතුළු අප සැම වෙත විශාල කාර්යභාරයක් පැවරී ඇත.


තවද, වනාන්තර විනාශය, පරිසර දුෂණය, ජෛව විවිවිධත්වයට හානි කිරීම වැනි ක්‍රියාකාරකම් වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතු කාලය උදාවී ඇත. වෛරසයෙන් අත්වූ ආර්ථික හානිය පියවා ගැනීමට ලෝකයේ ප්‍රබල රටවල් පාරිසරික බලපෑම් නොසලකා වහ වහා කාබන් ජනනය වන, වායු දුෂණය උග්‍ර, කර්මාන්ත සහ ආර්ථික කටයුතුවල යෙදෙනු ඇති බවට පරිසරවේදීන් දැනටමත් සැක පහල කර ඇත. එනමුත් පාරසරික හානි මිනිස් සෞඛ්‍ය මත ඇති කරන බලපෑම කෙරෙහි කවදාටත් වඩා වර්තමානයේ දැඩිව අවධානය යොමු කළ යුතුවන අතර, එසේ නොකළහොත් ඉදිරියේදී මිට වඩා දරුණු තත්ත්ව වලට මුහුණ දීමට සිදුවන බව පරිසරවේදීන්ගේ අදහසයි.


එසේ වුවහොත් පාරිසරික හානිවලින් අන් කාටත් වඩා බලපෑමක් ඇති කරන්නේ ඇති බහුතරයක් වූ සම්පත් හිග, දරිද්‍රතාවයෙන් උග්‍ර, සංවර්ධනය වෙමින් පවතින රටවලට බව රාජ්‍ය නායකයින් තේරුම් ගත යුතුව ඇත. එබැවින්, අනාගතයේදීත් නැවත මෙවන් ව්‍යසනයකට මුහුණ නොදීමට සංවිධිත වැඩපිළිවෙලක් අන්තර්ජාතික මට්ටමින් සකස් වීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුත්තකි.


ලොව පුරා දහස් සංඛ්‍යාත මිනිසුන් නිවසට වී සිටි මෙම සුළු කාලය තුළ ලෝකයේ බොහොමයක් රටවල වායු දුෂණය අවම වී, වාතය පිරිසිදු වී, වන සතුන් පවා මහාමාර්ගවලට පැමිණ නිදහසේ සිටින අයුරු ඔබ දකින්නට ඇත. මේ ඔබ විනාශයට පත් කරනුයේ ඔබෙත් මගෙත් අප දරුවන්ගේත් ජිවිතය රැදී ඇති ස්වාභාවධර්මයයි. අප ජීවත් වන පරිසරය මින්මතු ජීවත් වන පරම්පරා ගණනාවකට ඉතිරිකර යාමට අප සියලු දෙනාට ස්වභාවධර්මය විසින්ම පැනවූ වගකීමක් ඇත. එම නිසා ස්වාභාවධර්මයෙන් වෙන්වූ පැවැත්මක් මිනිසා හට නොමැති බවත් මිනිසා රැකෙන්නේ ස්වභාවධර්මය රැකුනහොත් පමණක් බවත් අප කවදාටත් වඩා අද වටහා ගත යුතුව ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි