කොළඹ නගරය තුළ ස්මාර්ට් ආලෝක පද්ධතියක් ඇති කිරීම සඳහා පෞද්ගලික සමාගමක් සමග නගර සභාව එළැඹ ඇති ගිවිසුම හේතුවෙන් නගර සභාවට රුපියල් මිලියන 3760ක මූල්‍ය පාඩුවක් සිදු වන බවට චෝදනා නගමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව ඇත.
කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
විදුලි ආලෝක පද්ධතිය සවි කර නඩත්තු කිරීම සඳහා වසර 20ක කාලයකට අත්සන් කර ඇති අදාළ ගිවිසුම හේතුවෙන් කොළඹ මහ නගර සභාවට රුපියල් මිලියන 3760ක මූල්‍ය පාඩුවක් සිදු වන බව ශර්මිලා ගෝනවල මහත්මිය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
2018 පෙබරවාරි 5 වන දා නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ ගිවිසුම අත්සන් කර ඇත්තේ, නගර සභාව විසුරුවා තිබෙන අවස්ථාවේදී ය.
ඇය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත්තේ, නගර සභාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාව මත පදනම්ව ලබා ගත් තොරතුරු අනුව ය.
නගර වැසියන්ගේ බදු මුදල් පෞද්ගලික ආයතනයකට වාසි සැලසීම සඳහා යෙදවීමට ක්‍රියාකර ඇති බව පවසමින් ශර්මිලා ගෝනවල මහත්මිය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ