ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමට එම නිකායවල මහ නාහිමිවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ තීරණය කර ඇත.
ඒ සඳහා වන සම්මුතියකට එළඹෙන 16 දින සවස 2.30ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී අත්සන් තබන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමියන් මාධ්‍ය වෙත සඳහන් කළහ .
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මුතියට අත්සන් තැබීම සිදු කෙරෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළේ ය.
එම සම්මුතිය අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව ලෙස හඳුන්වනු ඇත.