මධූෂ්ගේ නීතිඥයාගේ චෝදනාවලින් රහස් පොලිස් අධ්‍යක්ෂ නිදහස්

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥ ජාලිය සමරසිංහ මහතා පැවැරූ නඩුවේ චෝදනාවලින් අධ්‍යක්ෂවරයා නිදහස් කරන බව අධිකරණය අද තීන්දු කර තිබේ.

නීතිඥවරයා සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණේ වාස් ගුණවර්ධන සතුව තිබූ ගිනි අවි තොගයක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අධ්‍යක්ෂවරයා විසින් පැහැර හරින බවටයි.

එම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් හා සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් කර ඇති බැවින් චෝදනාවලින් නිදහස් කරන බව අධිකරණය තීන්දු කළේය.

ජාලිය සමරසිංහ නමැති මෙම නීතිඥවරයා පාතාල නායක හා මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ලෙස රහස් පොලීසියට ගොස් තිබේ.

එහි රඳවා සිටින මධූෂ් සමග නීතිඥයාට අවශ්‍ය බව පැවසූයෙන් ඒ සඳහා ඉඩ ලබාදී ඇත.

රහස් පොලිස් නිලධාරීන් සිටියදී මධූෂ් සමග කතා කළ මෙම නීතිඥයා සැකකරු වෙත උපදෙස් දී ඇත්තේ ඔහු ආයුධ සැඟවූ තැන්, සබඳතා හෝ වෙනත් වැදගත් කරුණු පිළිබඳ රහස් පොලීසියට කිසිවක් ප්‍රකාශ නොකරන ලෙසයි.

එම ස්ථානයේ සිටි රහස් පොලිස් නිලධාරීන් මේ පිළිබඳ සටහනක් ද තබා ඇත.

නීතිඥවරයකු විසින් තම සේවාදායකයාට මෙවැනි උපදෙසක් දීම සම්බන්ධයෙන් රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ද සූදානම් වෙයි.