‘SF ‌‌‌‌‌නැත්නම් අද කතාකරන්නවත් නිදහස නෑ’ – හිටපු හමුදාපති

Picture of අසංක

අසංක

මෙය සිංහල බෞද්ධ රටක් බවත්, එහි ඉන්නේ ශ්‍රී ලාංකීක නැමති පවුල වන අතර සිංහල ජනතාව සෑම විටම පවුලක තාත්තාගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත්, තාත්තා නිරන්තරයෙන් පවුලේ සෙසු සාමාජිකයින් රැක ගත යුතු බවත් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. හෙතෙම ‌පෙන්වාදෙන්නේ මේ රටේ ජීවත් වන සිංහල, මුස්ලිම්, හින්දු යන ඕනෑම අයෙක් මේ පවුල තුළ සිටිය හැකි බවයි. වසර 38ක සේවය නිමාකොට විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව ද ඔහු කියාසිටියේ අද මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය කාලය පුරා යුද හමුදාව කෙරෙහි මෙන්ම තමන් කෙරෙහි ජනතාව තැබූ කැමැත්ත සම්බන්ධයෙන් ස්තූතිය පිරි නමන බවද පැවසු හිටපු යුද හමුදාපතිවරයා පැවසීය. විශ්‍රාම ගියත් තමාට තවමත් රටට සේවය කිරීමට ශක්තිය හා ජවය ඇති බවත් නිරන්තරයෙන් තමා රටේ ඉදිරි කටයුතු සඳහා එකතු වෙන බවත් කියාසිටියි. දේශාපාලනයට පිවිසෙන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු ‌දෙමින් කියාසිටියේ දේශපාලනයට නෑවිත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ හැකි බවයි.  “දේශයට වැඩක් කරනවා නම් මම එතැන“ යනුවෙන්  ද පැවසු සේනානායක මහතා, පක්ෂයකට බැඳී සේවය කිරීම එයින් අදහස් නොකරන බවද පැවසීය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට ජනාධිපතිවරයා ගෙන්වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය. රටේ පුරවැසියෙක් ලෙස ජනාධිපතිවරයා එයට ඉදිරිපත් විය යුතු බව ඔහු අවධාරණය කළේය.

බැරෑරුම් කාල රැසක හමුදාපති ධූරයේ සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, යුද හමුදාව ජනතාවගේ බවත් කිසිවිටෙකත් යුද හමුදාව පක්ෂයක් නියෝජනය නොකරන බවත් ය. හමුදාවේ විනය තුළින් තමා සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බවත් තමාට ඇති ජවය අනුව ඕනෑම මොහොතක රට වෙනුවෙන් සේවය කිරීමට කැමති බවත් ඒ ගැන ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද පැවසීය.

එදා සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවට අණ නොදුන්නේ නම් අද කථා කිරීමට ඇති නිදහස උදා නොවෙනු ඇතැයි ද මහේෂ්සේ්නානායක මහතා පැවැසීය. රටේ නැවතත් යුද්ධයක් ඇති නොවේවා යන්න තම ප්‍රාර්ථනය වන බවත්, එනිසා නැවත වතාවක් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය නොවන බවත් පැවසීය.