නවතම පුවත්

ගිනස් වාර්තාවකට සැරසෙන ජාත්‍යන්තර නිවුන් හමුව ‌කොළඹදී

අසංක

අසංක

ලොව වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගි වන පළමු ජාත්‍යන්තර නිවුන් හමුව ලබන වසරේ කොළඹදී පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා ට්වින්ස් සංවිධානය සැරසෙයි. ලබන ජනවාරි 20 වැනිදා සිට 28 වැනිදා තෙක් මෙය පැවැත්වේ. රට පුරා වෙසෙන ඔනෑම වයස් මට්ටමක නිවුන්, තුන් නිවුන්, සිව් නිවුන්, පස් නිවුන් හෝ ඔනෑම නිවුන් සාමාජිකයන් වෙත මෙම හමුවට සහභාගි විය හැකියි. දෙස් විදෙස් නිවුන් සංස්කෘතික අංග, තරග හා 26 වැනිදා පැවැත්වෙන සාම පාගමනකින් ද 27- 28 දිනවලදී විදෙස් නිවුන් සොයුරු සොයුරියන්ගේ කලා සහ අත්කම් තරග මාලාවකින් සමන්විතව අති උත්කර්ෂවත් අන්දමින් මෙය පැවැත්වීමට සූදානම් කර ඇති බව එම සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ.කේ.හෙට්ටිආරච්චි මහතා ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවැසීය. මෙය සහස්‍රයේ වඩාත් අපූර්වතම  නිවුන් ප්‍රජාවගේ උත්සවය වනු ඇති බවට ද ඔහු අවධාරණය කළේය. ‘යුද ගිනි නිවාලමු – ලොවට මනුෂ්‍යත්වය පතුරමු’ මෙම දැවැන්ත නිවුන් හමුවෙහි තේමාවයි.

මෙම නිවුන් හමුව සදහා සහභාගි විය හැක්කේ නිවුන් ප්‍රජාවට පමණක් නොවේ. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හා වෙනත් ඔනෑම අයකුට මෙම උත්සව අවස්ථාවට සහභාගි විය හැකිය. ශ්‍රී ලංකා  රජයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අනුග්‍රාහකත්වය ද ඇතිව පවත්වන මෙම දැවැන්ත නිවුන් හමුව සදහා විදෙස් නිවුන් ප්‍රජාවට ද සහභාගි විය හැකි අතර ඔවුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සහිත වැඩපිළිවෙළක් ද සූදානම් කර ඇත. මේ සදහා සහභාගි වීමට හෝ ශ්‍රී ලංකා ට්වින්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට 0704644640 – හෙට්ටිආරච්චි මහතා ඇමතීමෙන් ලබාගත හැකිය. එසේ නැතහොත් 124/ඩී, වලව්වත්ත, 1 පටුමග, අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපියනයට දන්වා හෝ තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී.

‘ශ්‍රී ලංකා ට්වින්ස්’ සංවිධානය ලාබ නොලබන නිවුන්, තුන් නිවුන්, සිව් නිවුන් ආදී ලෙසින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින අවම වරප්‍රසාද ලත් නිවුන් ප්‍රජාව වෙත සහය දීමේ අරමුණින් පිහිටුවන ලද සංවිධානයකි. උපුලි සහ චමලී ගමගේ නිවුන් සොයුරියන් විසින් එය ආරම්භ කරන ලද්දේ 1993 වසරේ අගෝස්තු මස 23වැනි දායි. දිවයින පුරා වෙසෙන නිවුන් ප්‍රජාවගේ අධ්‍යාත්මික, බුද්ධිමය හා සමාජ ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකා ට්වින්ස් සංවිධානයේ මූලික පරමාර්ථයයි. එමෙන්ම දේශීය මෙන්ම ලොව පුරා වෙසෙන ලාංකික නිවුන් ප්‍රජාව එක්රොක් කරමින් කරදරවලින් තොර ජයග්‍රාහී ලොවක් ස්ථාපිත කිරීම ද ඔවුන්ගේ අරමුණු අතර වේ.

වරප්‍රසාද අඩු ලාංකික පවුල්වල සිටින නිවුන් දරුවන් වෙත අධ්‍යාපන, ආර්ථික හා සමාජමය අතින් සහය වීම ශ්‍රී ලංකා ට්වින්ස් සංවිධානයේ අපේක්ෂාවයි. ආරම්භයේ සිට අද දක්වාම  ශ්‍රී ලංකා ට්වින්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබාසිටින සංඛ්‍යාව අතිවිශාලය. ලාංකිකයන් වන ඔනෑම වයස මට්ටමක සිටින නිවුන් සාමාජිකයන්ට මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබාගත හැකිය. අලුත උපන් නිවුන් බිළිදුන්ගේ සිට වයස අවුරුදු 96ක් දක්වා වන වැඩිහිටියන් ද මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබාසිටී.

මෙම සංවිධානය ඔස්සේ වරප්‍රසාද අවම නිවුන් ප්‍රජාව වෙත සහය වන අතරතුර එහි ප්‍රතිලාභ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද හිමිවීම විශේෂත්වයයි. ශ්‍රී ලාංකික හා ජාත්‍යන්තර නිවුන් ප්‍රජාවන් අතර සමගිය ඇති කිරීමෙන් දරිද්‍රතාවයෙන් මිදීම සහ නිවුන් ප්‍රජාවන්ට ආවේණික වූ කුසලතා ඉස්මතු කරමින් රටවල් අතර සහජීවනය වර්ධනය කිරීමටද මෙම සංවිධානය කටයුතු කරනු ලබයි. ශ්‍රී ලාංකික නිවුන් ප්‍රජාවගෙන් සමන්විත මෙම සංවිධානය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ඔනෑම ආගමක පුද්ගලයන් එකම පවුලක් සේ  සහයෝගයෙන්, සෙනෙහසින් එකිනෙකාගේ විශ්වාසයන් බෙදාහදා ගැනීමට ද අවස්ථාව සලසාදී ඇතැයි ශ්‍රී ලංකා ට්වින්ස් සංවිධානය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ට්වින්ස් සංවිධානයේ නිර්මාතෘවරියන් වන උපුලි සහ චමලී ගමගේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්