සටහන – ගයාන් කුමාර වීරසිංහ
මෙවර පැවැත්වෙනුයේ හිටපු ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හෝ විපක්ෂ නායකවරයකු තරග නොකරන මෙරට ඉතිහාසයේ ප්‍රථම විධායක ජනාධිපතිවරණය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මෙයට පෙර පැවැති සෑම ජනාධිපතිවරණයකදීම ජනාධිපතිවරුන් අගමැතිවරුන් හෝ විපක්ෂනායකවරුන් තරගකර ඇති බවද ඔහු පැවැසීය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බව සදහන් කර ඇති බැවින් මෙවර ජනාධිපතිවරණය ජනාධිපතිවරුන් නොමැති මැතිවරණයක් බවට පත්ව ඇතැයිද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යෑම හේතුවෙන් ඇස්තමේන්තුගත වියදමට අතිරේකව රු. කෝටි 100කට ආසන්න මුදලක් වැය කිරීමට සිදු විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රු. කෝටි 400ක් වුවද එය රු. කෝටි 500ක් දක්වා ඉහළ යා හැකි බව සභාපතිවරයා කියා සිටී.
මූලික වශයෙන් මේ අතිරේක මුදල් වැය වනු ඇත්තේ ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණ මෙහෙයුම්වලට අදාළ ලියකියවිලි මුද්‍රණය සඳහාය.
පසුගිය සිකුරාදා (4) සවස වන විට අපේක්ෂකයන් 33 දෙනකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබූ අතර තවත් කිහිප දෙනකුම සෙනසුරාදා සහ අවසන් දිනය වන ඉරිදා දහවල් 12ට පෙර ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතය. ඒ අනුව මෙතෙක් ජනාධිපතිවරණයකදී ඉදිරිපත් කළ දිගුම ඡන්ද පත්‍රිකාව මෙවර ඉදිරිපත් වනු ඇති බවත්, එය දිගින් අඩියක් ඉක්මවිය හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.