තාජුඩීන් සිද්ධියේ නඩුවක් ලබන 24ට කල් යයි

Picture of අසංක

අසංක

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන පෙබරවාරි මස 24 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියම කර තිබේ.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීම යන්නයි.

විත්තිකරුට අදාළ චෝදනා පත්‍රය විවෘත අධිකරණය හමුවේ අද කියවනු ලැබීය.

එම චෝදනා වලට තමන් නිවරදිකරු බව විත්තිකාර මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විවෘත අධිකරණය හමුවේ පැවැසීය.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති ආකාරය දෝෂ සහගත බවට විත්තියේ නීතිඥවරයා විසින් මීට පෙර මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබී ඇත.

විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව පදනම් සහිත බව ඒ සම්බන්ධයෙන් අද දින නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා පැවැසීය.

චෝදනා සංශෝධනය කිරීමට නීතිපතිවරයාට අවස්ථාව තිබෙන බව විනිසුරුවරයා සඳහන් කළේය.

එසේ චෝදනා සංශෝධනය නොකරන්නේ නම් විත්තිකරු මුදාහැරීමට අධිකරණයට සිදුවන බවද විනිසුරුවරයා දැන්වීය.