මෙරට ප‍්‍රථම චන්ද්‍රිකාව අපේ‍්‍රල් මාසයේ දී ගුවනට

Picture of අසංක

අසංක

රාවනා -1 නමින් හැඳින්වෙන , ශ්‍රී ලංකාවේ ප්‍රථම අභ්‍යාවකාශ චන්ද්‍රිකාව ලබන අප්‍රේල් මාසයේ කක්‍ෂගත කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකික විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරුවරුන් වන දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන දෙදෙනා , ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් කක්ෂගත කරනු ලැබීමට සැලසුම් කර ඇත.

“රාවණා රජුගේ” ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් මෙම චන්ද්‍රිකා රාවණා 1 ලෙස නම් කල බව ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය.
එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම ප්‍රධාන වේ .

ඊට අමතරව ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම හා චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීමද මේ අතර වේ.

පැතුම් වික්‍රමරත්න