බීමතින් රිය අනතුරක් සිදුකරන ලදැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා අද නියෝග කළේය.
සැකකාර ලාල්කාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම සළකා බලා මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.
ඉකුත් 03 වැනිදා අනුරාධපුර නව පුත්තලම් මාර්ගයේ බන්ධනාගාරය ඉදිරිපිටදී සැකකරු අතින් සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් කාන්තාවක සහ එහි පසුපස ගමන් ගත් 14 හැවිරිදි දැරියක තුවාල ලැබීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දන්වා සිටියේ තම සේවාදායකයා විසින් අනතුරුව පත්කළ යතුරු පැදිය පැදවූ කාන්තාවකට සහ අනතුරුව පත්වූ දැරියට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 02ක මුදලක් ගෙවා තිබෙන බවයි.
එම කරුණු මත සැකකරුට ඇප ලබාදුන් මහේස්ත්‍රාත්වරයා ලබන 14 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළේය.
ඉෂාර රත්නකාර