මහ ඡන්දෙ පෙනි පෙනී තායිලන්තයේ විපක්ෂය විසුරුවයි

Picture of අසංක

අසංක

තායිලන්තයේ විපක්ෂය විසුරුවා හරින ලෙස අධිකරණයක් අද නියෝග කර තිබේ.

ඒ රජුගේ සොයුරිය තායි රක්සා චාට් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම්කිරීමේ වරදට ය.

එමෙන්ම විපක්ෂයේ දේශපාලන විධයක මණ්ඩලය වසර 10ක් සදහා දේශපාලනය තුළ සාමාජිකත්වයෙන් වළක්වමින් ද මෙහිදී නියෝගයක් නිකුත් කර තිබේ.

මේ හේතුවෙන් ලබන 24 වැනි දා පැවැත්වෙන මහමැතිවරණයට සති දෙකක් තිබියදී විපක්ෂයට මතුවී ඇත්තේ බරපතළ ගැටලුවකි.

මෙම තත්වය 2014 දී කුමන්ත්‍රණයකින් හමුදා බලය ලබාගැනීමෙන් පසුව එරට උද්ගත වූ පළමු බරපතළ දේශපාලන අර්බුදයයි.

වසර 5ක් තිස්සේ තායිලන්තය අරක් ගෙන සිටින මිලිටරි ජුන්ටාවට සහය දෙන පක්ෂ සියල්ලක්ම පරාජය කිරීමේ බලය හිමි විපක්ෂයට මෙම හදිසි විපත රට තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම අධිකරණ නියෝගය නිකුත් කරන අවස්ථාවේදී ඒ ආශ්‍රිතව පොලිස් නිලධාරීන් 1000ක් පමණ යොදවා තිබූ බව එරට වාර්තා පවසයි.

විපක්ෂ නායක ප්‍රීචාපෝල් පොන්ග්පැනිච් සිය වැළපෙන, කෑගසන, දුක්වන පාක්ෂිකයන්ට පවසා තිබුණේ ‘අප හැමෝටම රට වෙනුවෙන් හොද අරමුණක් තිබුණා’ යන්නයි.

විපක්ෂය විසින් උබොල්රට්නා රාජකන්හා සිරිවධනා බර්නාවාඩි කුමරිය අගමැති අපේක්ෂිකාව ලෙස නම් කිරීමෙන් අනතුරුව ‘ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවට එදිරිවාදීකම් කළේ’ යැයි චෝදනා කරමින් මැතිවරණ කොමිසම විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විපක්ෂය විසුරුවා හරින ලෙසයි.

ඇය 1972 සිට රාජකීය ගරුනාම, හිමිකම් අත්හැර සිටියද රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක ලෙස ඇය නිල වශයෙන් පිළිගැනීම, මෙම චෝදනාව එල්ල කිරීමට පසුබිම සකසා තිබිණ.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි