අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරලා – ඉන්ටර්පෝල් දැනුම් දෙයි

Picture of අසංක

අසංක

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සැඟව සිටින
හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය දැන්වූ බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දෙයි.

මොහු බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි.

මෙම වංචාවට අදාළ නඩුව අද (16) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණ.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය තුළ සංශෝධනයක් කිරීමට අවශ්‍ය දැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කර තිබේ.

රජයේ නියෝජ්‍ය සොලිස්ටර් රණසිංහ මහතා අධිකරණය වෙත කියාසිටියේ එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇති බවයි.

මෙම නඩුව තුළද නාම සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබදව ඉදිරියේ දී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුනි.

මෙම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින “අජහාන් ගාර්දිය පුංචිහේවා “ නමැත්තා මේ වන විට සිංගපූරුවේ වාසය කරන බවත් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා වෙත නැවත සිතාසි නිකුත් කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

එම විත්තිකරු වෙත යළි සිතාසී නිකුත් කළ අතර මෙම නඩුව නැවත නොවැම්බර් මස 17 දා කැඳවනු ලැබීය.