අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ ස්ථාන මාරුව, ආන්දෝලනයට ලක්වූ රියාද් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩබලන පොලිස්පති සීඩී. වික්‍රමරත්න මහතා ඊයේ දින කළ විශේෂ ඉල්ලීමක් පරිදි ජාතික පොලිස් කොමිසම මගින් මෙම ස්ථාන මාරුව සඳහා අවසරය ලබා දී තිබේ.
මේ අනුව රියාද් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා මොහොතේ සිට නිදහස් කළ මොහොත දක්වා වූ විමර්ශනයේ සියලු තොරතුරු යළි සලකා බැලීමටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කරන ලද ප්‍රකාශයට තොරතුරු ලැබී ඇත්තේ කෙසේද යන්න පිලිබඳවත් ඉදිරියේදී විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් කරනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රණසිංහ මහතායි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ, හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා වන රියාද් බදියුදීන් මහතා මාස 5 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිට පසුගියදා චෝදනාවලට අදාළව සාක්ෂි නැතැයි නිදහස් කොට තිබිණි.