මේරිගේ ප්‍රකාශය ගැන විදෙස් අමාත්‍යංශය ජාත්‍යන්තරය දැනුවත් කරයි

Picture of අසංක

අසංක

හිටපු අයර්ලන්ත ජනාධිපති මේරි රොබින්සන් මහත්මිය පසුගියදා ශ්‍රී ලංකාවට අදාලව කල ප්‍රකාශය සම්බ්න්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කිරීමට බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත.

මේරි රොබින්සන් මහත්මිය අයර්ලන්ත මාධ්‍ය වෙත පසුගියදා  පවසා තිබුණේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළි නොගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි හා ඇමරිකාව නැවතත් ආපස්සට ගමන් කිරීමේ පියවරක්  වන බවත්  එය සමාන කළ හැක්කේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ වැනි අස්ථාවර රටවල දේශපාලන පරාජයන් පිළගැනීමට අකමැති වන දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපවලට බවත්ය.

මේරි රොබින්සන්

 මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය හරහා, මේරි රොබින්සන් මහත්මිය සහ ඇයගේ ප්‍රකාශය වාර්තා කර තිබූ අයර්ලන්ත ජනමාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු ආමාත්‍යංශය සඳහන් කර ඇත 

ඒ අනුව මේ සම්බන්ධයෙන්, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය රොබින්සන් මහත්මියට සහ අදාළ පුවත්පත්වල කතුවරුන්ට ලිපියක් යොමු කරමින්, රොබින්සන් මහත්මියගේ අදහස්වල සාවද්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර ඇත.

සරෝජා සිරිසේන

ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම හා අඛණ්ඩව පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අතර 1931 සිට එහි ජනතාව සර්වජන ඡන්දබලය භාවිතකරමින් සිටින බවත්, කාලානුරූපව පැවැත්වෙන මැතිවරණවල දී ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික රජයන් සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගෙන ඇති බවත්, ඉන් අනතුරුව කෙරෙන බලය පැවරීම සෑම විටම ඉක්මනින්, සුමටව හා සාමකාමී ලෙස සිදු වී ඇති බවත් මහ කොමසාරිස් සිරිසේන මහත්මිය පෙන්වා දී ඇත.