මහර බන්ධනාගාරයේ සිද්ධියට කමිටුවක්

Picture of අසංක

අසංක

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ.

මහර බන්ධනාගාරය තුළ ඊයේ ඇතිවූ සිද්ධිය විමර්ශනය කර නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවක් සතියක් තුළද, මාසයක් තුල කෙටි කාලීන හා දිගු කාලීනව ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පූර්ණ සවිස්තර වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස එම කමිටුවට නියෝග කර ඇත.

එහි සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියයි.

අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ කපු ගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,  හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතා සෙසු සාමාජිකයන් ය.

අදාළ සිද්ධියට පාදක වූ කරුණු, ඒ සදහා වගකිව යුතු පාර්ශවයන් හා ගතයුතු ක්‍රියාමාර්ග සහ මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් විය යුතු බවට අමාත්‍යවරයා අදාල කමිටුවට පෙන්වා දී ඇත.