– බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මහර බන්ධනාගාරයේ පසුගිය දා සිදුවූ ගැටුමෙන් මියගිය කිසිදු රැඳවියෙකු වෙඩි පහර කා මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබඳ කරුණු දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
“බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලුදෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.“
පසුගිය 29 වැනි දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවූවන් 11 දෙනෙකු මියගොස් 106ක් තුවාල ලබා තිබුණි.
ඉන් 28දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත්, 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේත්, තවත් රැඳවියෙක් කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබති.
සුළු තුවාල ලැබූ රැඳවියන් 53 දෙනෙකු ප්‍රතිකාර ලබා යළි මහර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබේ.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.
එමෙන්ම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් ඊයේ පෙරවරුවේ මහර බන්ධනාගාරයේ විමර්ශන ඇරඹීය.
මේ අතර මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පළා ගිය මහර රැඳවියා ඊයේ (03) ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් සොයාගැනුණි.
32 හැවිරිදි සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තිබේ.
ගැටුමට මැදිවූ රැඳවියන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බන්ධානාගාර ආරක්ෂක කුටිය වෙත කැඳවා තොරතුරු එක්රැස් කිරීමත් ඊයේ ඇරඹිණ.