කොරෝනා මරණ භූමිදානය කළ හැකිදැයි අගමැති සොයයි

Picture of අසංක

අසංක

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (10) දින පැවැත්විණි.

එම දේහ භූමිදානය සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස අගමැතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ දේහය තුළ එම වෛරසය දින 36ක් පමණ පවතින බව සොයා ගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු එහි දී ප්‍රකාශ කළහ.

සෞඛ්‍යට බලපාන කරුණු අරබයා ජාති හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජන කොටස්වල සහයෝගය අවශ්‍ය බව අගමැතිවරයා පෙන්වා දුනි.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ද අගමැතිවරයා ඉල්ලා ඇත.

මෙම අවස්ථාවට අමාත්‍ය අලි සබ්රි, ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.