ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටි මාළිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවී තිබේ.
පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාවට අදාළ දැනුම්දීම ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවද වාර්තා වේ.
නීතිවිරෝධී අන්දමින් ටී.56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ මාළිගාවත්ත, බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට පසුගිය වසරේ ජුනි 01 වැනි දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම නියම කළේය.
2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී ජනවාරී 02 වැනි දා විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි සඟවා තිබූ එම අවි තොගය සොයා ගෙන තිබුණි.
ඌවතැන්නේ සුමන හිමියන්ට අමතරව එම විහාරස්ථානයේ විහාරවාසී මාවෙල සුබෝධ හිමි සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි කියන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම් සහ චන්ද්‍රනම් සුබ්‍රමනියම් යන අයට ද අධි චෝදනා එල්ල වී තිබුණි.
එහෙත් නඩු විභාගය අතරතුරදී ඔවුන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ ය.