යුක්‍රේන සංචාරකයින් ගැන මම දැනගත්තේ ජනමාධ්‍යයෙන් – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේන සංචාරකයින් සම්භන්ධව කිසිදු තොරතුරක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බව ශ්‍රී ලංකා  සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය  අවධාරණය කර සිටී .

එම සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සංචාරක නියෝජිත ආයතනයෙන් හෝ සංචාරක ප්‍රවර්ධකයින්ගෙන් මේ පිළිබඳව කිසිදු තොරතුරක් තමා වෙත ලැබී නොමැති බව ,  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රනාන්දු මහත්මිය අද දින සඳහන් කර ඇත .

යුක්‍රේනයේ සිට පැමිණි මෙම සංචාරකයින් මෙරට යාල ඇතුළු ප්‍රදේශවල සංචාරය කරන බව තමා දැනගත්තේ ජනමාධ්‍යය හරහා වන බවද සභාපතිනිය තම ලිපියේ සඳහන් කර ඇත .කාර්යසාධක බලකා රැස්වීමේදී එකඟවූ පරිදි , මෙම සංචාරය සංවිධානය කරනු ලබන පුද්ගලයා ඒ පිලිබඳ තම අධිකාරියට තොරතුරු  ලබාදිය යුතුව ඇති බවත් , කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදී සඳහන් කර ඇත .

ඒ කෙසේ වෙතත් එවැනි කිසිදු තොරතුරක් අදාළ පුද්ගලයා විසින් තමාට හෝ තම ආයතනයට ලබාදී නොමැති බව සභාපතිනිය මෙම ලිපිය හරහා චෝදනා කර ඇත .