මුහුදට ප්ලාස්ටික් එක්කිරීමෙන් , ලංකාව පස්වැනි තැනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ප්‍රකාශ කර සිටී

ඇතැම් ජාත්‍යන්තර සංවිධාන වෙතින් මේ සම්භන්ධව එල්ලවන  චෝදනාවට පිළීතුරු දීමට නම් සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම ක්‍රමානුකූලව අවම කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද  කියා සිටියේය.

අමරවීර මහතා මේ අදහස් පළ කළේ උස්වැටකෙයියාව වෙරෙළේ දී මාධ්‍ය අමතමිනි. වෙරළට ඇතැම් පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත අපද්‍රව්‍ය යොදා ගනිමින් කලා ශිල්පි ලලිත් සේනානායක මහතා විසින් උස්වැටකෙයියාව වෙරළේ නිර්මාණය කර තිබෙන ඇත් රූපය නැරඹීමට ගිය අවස්ථාවේදීය

සාගර දූෂණයට බරපතල ලෙස බලපාන ප්ලාස්ටික් හා පොලිතීන් නිසා වාර්ෂිකව අප රටේ මත්ස්‍ය අස්වැන්න පවා ක්‍රම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බව අධ්‍යයනයන් මගින් තහවුරු ව ඇතැයි අමාත්‍යවරයා එහි දී කියා සිටියේය. ඊට හේතුව මයික්‍රොප්ලාස්ටික් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දික්ඕවිට ධීවර වරායට දිනකට ප්ලාස්ටික් බෝතල් 24,000ක් පමණ සාගරයේ සිට එකතු වන බවත් තමන් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ නිලධාරින් සමග සාකච්ඡා කර ශ්‍රමදානයක් පවා පැවැත්වූ බවත් හෙළි කළ අමාත්‍යවරයා ධීවර කටයුතු සඳහා නික්ම යන ධීවරයින්ට කුඩා ප්ලාස්ටික් බෝතල්වලින් ජලය ගෙන යාම පවා තහනම් කළ බව ද කියා සිටියේය. එමෙන්ම ධීවර වරායෙන් සාගරයට යන විට ඒ ඒ බෝට්ටු ගෙන යන ප්ලාස්ටික් භාජන හා පොලිතීන් පිළිබඳව තමන් වාර්තාවක් තබා ගත් බවත් ඔවුන් ආපසු එනවිටත් ඒවා ආපසු ගෙන ආ යුතු බවත් සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය බැහැර කිරීම මුළුමනින්ම තහනම් කළ බවත් සිහිපත් කළේය.