මෙරට මුස්ලිම් කොවිඩ් මළසිරුරු  භූමදානය කරන්න ඉඩදෙන්නැයි මානව හිමිකම් කවුන්සිලයේදී ඉල්ලීමක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න / ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ වනවිට පැවැත්වෙන සැසිවාරයේදී ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් යූසුෆ් අල් ඔතයිමීන් ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

 

ඒ මෙරට මුස්ලිම් ජනතාවගේ කොවිඩ් මළසිරුරු භූමදානයට කඩිනම් පියවර ගන්නා ලෙසයි.

 

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මුහුණ දෙන තත්ත්වය ගැන ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය කණස්සල්ල පළ කරනවා. කොරෝනා වෛරසයෙන් මියයන අයගේ දේහයන් භූමදානය කිරීමේ අයිතිය ඔවුන්ට හිමිවී නෑ. අපි ඉතා ඕනෑකමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා, මුස්ලිම් ජනතාවගේ කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමේ අයිතිය සහතික කිරීම සඳහා ඉතා ඉක්මන් පියවර ගන්නා ලෙස.” යැයි  ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් යූසුෆ් අල් ඔතයිමීන් සඳහන් කළේය.

 

ශ්‍රී  ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ  වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

 

මෙම වාර්තාව තුල මහකොමසාරිස්වරිය  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයට අදාලව චෝදනාත්මක ස්වරූපයෙන් කරුණු කිහිපයක්ම දක්වා ඇත

 

මූලික ලෙස ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ මෙම වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර ති‌බේ.

 

මෙවර සැසිවාරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍ය ගත රටවල් කණ්ඩායම වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය ,උතුරු මැසඩෝනියාව, සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

 

යුද්ධය පැවති කාලසීමාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ක්‍රියා කිහිපයක දර්ශන ඇතුළත් වාර්තා චිත්‍රපටයක් මෙරට ආරක්ෂක අංශ ඊයේ (24)අන්තර්ජාලයට එක්කර තිබුණි.