ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා 264000 ක් මේ සති අන්තයේ ලංකාවට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ලබා දෙන කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙන පළමු එන්නත් මාත්‍රා තොගය ලබන 28 වැනි දාට පෙර ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී .
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේ, පළමු තොගය ලෙස මාත්‍රා 264,000 ක් ලැබීමට නියමිත බවය.

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබීමට නියමිත මුළු එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 4.5කි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ලැබෙනු ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ය.

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ඉකුත් 24 වැනි දා ඝානා රාජ්‍යයට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළේ ය.

මේ අතර ඉන්දියාවෙන් ඊයේ දිනයේදී මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද සිට එන්නත්කරණ ක්‍රියාවලියට යොදවන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා පැවසීය

ඔහු පැවසුවේ, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල අවදානම් කණ්ඩායම් සඳහා මේ දිනවල එන්නත ලබාදීම සිදුවන බවය.