ඩුබායි-අබුඩාබිහි අවතැන් වූ  ශ්‍රී ලාංකිකයන්ට යළි එන්න ඇමති නාමල්ගෙන් ගුවන් ටිකට්පත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

කොරෝනා උවදුර හේතුවෙන් රැකියා අහිමි වූ සහ නොයෙක් අසනීප තත්ත්වයන්ගෙන් පෙලෙන මෙන්ම  නොයෙක් හේතූන් නිසා දීර්ඝ කාලයක් තිස්සේ යලි මව්බිමට යාමට නොහැකිව විවිධ ගැටලුවට මුහුණ දී ඩුබායිහි උද්‍යානයේ සහ අබුඩාබි තානාපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි තානාපති කාර්යාලයේ ලියාපදිංචි සියලුම ශ්‍රී ලාංකිකයන්, යලි මව්බිමට ගෙන්වා ගැනීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  කටයුතු කර තිබේ.

 

මෙහිදී එම අවතැන් වූ ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ගුවන් ටිකට්පත් ලබාදීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සංචාරයක නිරත වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සංචාරය අතරතුර එහි රැකියාවලට ගොස්  විවිධ හේතූන් මත  අවතැන්ව තානාපති කාර්යාලය අසල උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

 

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරුන්ගේ සහයෝගය ලැබී තිබුණි.