විල්පත්තුව ගැන කතා කරන්නෙ නිවැරදි තොරතුරුදැයි පරිසරවේදින්ටම සැකයක්

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලේගම

විල්පත්තුව ගැන කතා කරන්නේ නිවැරදි තොරතුරු දැනගෙනදැයි සැකයක් පවතින බව මෙරට ප්‍රකට පරිසරවේදියෙකුවන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

ශ්‍රි ලංකා දේශගුණික හා වනාන්තර ක්‍රියාකාරි ජාලයේ මහා සභා රැස්වීම ( SLCFAN ) හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි කාර්මික පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (04) පැවැති අවස්ථාවේ ඔහු මේ බව සදහන් කළේය.
මෙම රැස්වීමට ස්ලයිකැන් ( SLYCAN ) ආයතනය ඇතුළු SLCFAN සංවිධානයේ සාමාජික සංවිධාන විසි පහකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියේය.

2019 වර්ෂය සදහා SLCFAN නව සභාපතිවරයා ලෙස එස්.පී ලියනාරච්චි මහතා තේරිපත්වු අතර ලේකම්වරයා වශයෙන් සචිත නන්දජිත් මහතා තේරිපත්විය.

U.N.R.E.D.D වැඩසටහන ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන් පෙරට වඩා සවිමත් සංවිධාන ශක්තියක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාමාජික සංවිධානවල නියෝජිතයෝ අදහස් පළ කළහ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා, “පරිසරය යනු විල්පත්තුව පමණක් නෙමෙයි. ඇතැම්විට මෙවැනි ප්‍රචාරක උසිගැන්වීම් පිටුපස දේශපාලන කණ්ඩායම්වල යටි අරමුණු තිබෙන බවට සැකයක් පවතිනවා. බලන්න සිංහරාජෙ ගේට්ටුවේ ඉදන් ටිකට් ගන්න යන තැනට කිලෝමීටර් එක හමාර පාර හදන එක රටින් පිට ඉන්න අය පෙන්වන්නෙ සිංහරාජෙ හරහා පාරක් හදනවා කියලයි. ඇත්තටම ඒ අය පෙන්වන විධියෙ වීඩියෝ පෙන්නුවම මිනිස්සු නොමග යනවා. මේවා පාරසරික රොමැන්ටික් මතවාදයි. සිංහරාජය බලන්න යන ළමයින්, විදේශිකයන් වෙනුවෙන් ඒ පිවිසුම දක්වා පමණයි පාර හැදෙන්නෙ. ඒකත් මහා පරිමාණ පාරක් නෙමෙයි.

හැබැයි මොරගහකන්දට හෙක්ටයාර් 8000ක්, උමා ඔයට හෙක්ටයාර් 2000ක්, මල්වතු ඔය ව්‍යාපාරයට හෙක්ටයාර් 5000ක්, හම්බන්තොට ව්‍යාපෘතිවලට තවත් දහස් ගණනක් විනාශවෙනවා, මේවා තියෙද්දි කිලෝමීටර් එක හමාර කතාකරනවා, විල්පත්තුවෙ තත්ත්වයත් මෙයින් වෙනස්වෙන්නෙ නැහැ. කටුනේරියෙත් විල්පත්තුව කපනවා කියලා උද්ඝෝෂණ තියෙනවා. හැබැයි මේ අය දන්නෙ නැහැ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. ඒ නිසා අපි SLCFAN අනෙක් ආයතනවලට වඩා වෙනස් විධියට මේ දේවල් දකින්න අවශ්‍යයයි. අපට විල්පත්තුවට ගිහිල්ලා, බලලා අදහසක් දෙන්න පුළුවන් නම් ඒකයි වටින්නේ” යැයි හේමන්ත විතානගේ මහතා පෙන්වා දුන්නේය.