ඉන්දියාවේ කොරෝනා යළි හිස ඔසවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරස ව්‍යාප්තය හමුවේ ඉන්දීය මාහරාෂ්ට ප්‍රා‌න්තයේ නාග්පූර් දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම යළි වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත .
ඒ අනුව එළැඹෙන 15 වනදා සිට සතියක කාලයක් සඳහා නාග්පූර් දිස්ත්‍රික්කය එලෙස වසා දැමෙනු ඇති අතර .මෙම  කාලය තුළ රජයේ කාර්යාල සහ කර්මාන්තශාලා සඳහා කැඳවිය හැක්කේ, 25% ක සේවක පිරිසක් පමණක් වේ.  අනෙකුත් සියලුම ආයතන හා අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් වසා තැබීමට ප්‍රාන්ත බලධාරීන් නියෝග කර තිබේ.

කෙසේ වෙතත් රෝහල්, සිල්ලර අලෙවිසල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා විවෘත කර තැබෙන අතර ආපනශාලා වසා තැබුණ ද ජනතාවට ආහාර ඇණවුම් කර ලබා ගැනීමට අවසර හිමි වේ.

කෙසේ වෙතත් මාහරාෂ්ට ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බවද එරට රජය සඳහන් කර ඇත .

ගෙවී ගිය මාස කිහිපය තුළ රට පුරා ආසාදිතයින් වාර්තාවීම ක්‍රමයෙන් අඩු වන තත්ත්වයක් පෙන්නුම් කළ ද වෛරස ව්‍යාප්තියේ එක් කේනද්‍රස්ථානයක් ලෙස සැලකෙන මහාරාෂ්ට ඇතුළු ප්‍රාන්ත 6කින් යළි නව ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර මහාරාෂ්ට ප්‍රාන්තයේ අමරාවතී දිස්ත්‍රික්කය ද පෙබරවාරි මාසයේ සතියක කාලයක් සම්පූර්ණයෙන් වසා දැමිණ.

ඉන්දීය කොරෝනා කාර්ය සාධන බලකාය සඳහන්  කරන්නේ, කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස පිළිනොපැදීම, සිදුකරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව අවම වීම ,යන කරුණු මෙලෙස යළි ආසාදිතයින් වැඩිවීමට හේතුවෙන්නට ඇති බවය.

මීට අමතරව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරන්නේ, කොරෝනා නව වෛරස ප්‍රභේද ව්‍යාප්ත වීම ද මෙලෙස යළි වෛරස ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවන්නට ඇති බවටය