දම්පත් රණසිංහ
ඩුබායිහි දී මියගොස් සිටියදී මෙරටට මළසිරුර ගෙනැවිත් තිබූ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ බවට සැක පළවූ තැනැත්තාගේ මළ සිරුර ආර්.ඒ.දිනුක මධුසංඛගේ බවට DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.
දිනුක මධුසංඛ නමැත්තා ඩුබායි වෙත යාමට පෙර මෙරට පොලිසිය විසින් අවස්ථා කීපයක දී අත්අඩංගුවට ගෙන ඇති නිසා අපරාධ ලේඛනාගාරයේ ඔහුගේ ඇඟිලි සලකුණු තිබී ඇත . දේහයේ ඇඟිලි සලකුණු එම ඇඟිලි සලකුණු හා සැසඳීමේ දී එය ද සමාන වන බවට තහවුරු වී තිබේ.
ඩී එන් ඒ සහ ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමට හේතු වූයේ ඔහු විසින් වෙනත් නමකින් ඩුබායි හි රැඳී සිටීම නිසාය.
මීගමුව රෝහලේ දී ඊයේ පැවැත්වූ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බැවින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
විදේශයක සිට ගෙන ආ මළ සිරුරක් බැවින් මෙම දේහය ඊයේ (24) දිනය තුළ දීම මීගමුව මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ භූමදානය කරන ලෙසද මෙහිදී නියෝග කර ඇත.